අධි සුඛෝපභෝගී මගී නෞකාවක් මාගම්පුරට.....

සංචාරක මගීන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට ඊයේ (31) ළඟා විය.

යුරෝපා 2 සංචාරක මගී නෞකාව ලෝක සංචාරක සවාරියක නිරත වෙමින් සිටිය දී මෙරට ප්‍රධාන වරායන් වෙත පැමිණි බව සංචාරක සමාගම පවසයි.

හම්බන්තොට මාගම්පුර වරායට පැමිණි නෞකාවෙන් පැමිණි සංචාරකයින් යාල, උඩවලව, බූන්දල, කතරගම, ඇල්ල,සිතුල්පව්ව යන ප්‍රදේශ වල සංචාරය කිරීම සඳහා බස් රථවලින් පිටව ගියහ.

ජර්මන් සහ ස්වීස් රටවල් වල වැඩිහිටි සංචාරකයින් වැඩි වශයෙන් මෙම ලෝක සවාරිය සඳහා එක්ව සිටියහ.

මාස තුනකට අධික කාලයක් ලොව වටා මෙම පිරිස් සංචාරය කරති. හම්බන්තොට මාගම්පුර වරායට පැමිණිමෙන් ඉතා පහසුවෙන් සංචාරකයින්ට වැඩි ස්ථාන ප්‍රමාණයක් කෙටි වේලාවකින් නැරඹීමට හැකිවීම නිසා හම්බන්තොටට මගී නෞකා පැමිණිමට අවශ්‍ය පහසුකම් මෙයට වඩා පුළුල් කිරීමෙන් සේවාව සැපයිමට හැකි බව සංචාරක මගී නෞකා මෙහෙයවන සමාගම් පවසති.