බොරු මාධ්‍යය සංදර්ශන පවත්වන්න අපි සූදානම්  නැහැ - ඇමති අර්ජුන පවසයි.

මාධ්‍යය හමුවේ බොරු සංදර්ශන පැවැත්වීම තමාගේ ක‍්‍රමය නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එතුමා මේ බව පැවසූයේ වත්තල, වැලිකඩමුල්ල වාළුකාරාම විහාරස්ථානයේදී සංවිධානය කෙරුණු වෛද්‍යසායනය අරම්භ කරමිනි. එතුමාගේ උපදෙස් මත එම වෛද්‍ය සායනය සංවිධානය විය.  එතුමා එහිදී අවධාරණය කළේ සුදුසු දේ අවශ්‍ය වෙලාවේදී සිදු කර මාධ්‍යය දැනුවත් කිරීම වැදගත් වන බවයි.

”වත්තල ප‍්‍රදේශයෙන් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා වෛද්‍ය සායනයක් පවත්වන්න කියලා. මේ වනවිට ඵ් සඳභා විශාල වශයෙන් වෛදවරුන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඒ වගේම බෙහෙත් වර්ගත් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා ප‍්‍රදේශ දෙකක වෛද්‍ය සායන පවත්වන්න. මං හිතනවා මේ අවස්ථාවේ ආපදා අමාත්‍යවරයාට විශේෂ ස්තූතියක් පුදකළ යුතුයි කියලා. මේ සිදුවූ ආපදා තත්ත්වය සමඟ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කරලා අවශ්‍යය මුදල් ලබාදීමට තීරණය කරලා තියෙනවා. මේ සේවය සඳහා විශාල මුදල් ප‍්‍රමාණයක් යොදවලා තියෙනවා. මේ ආණ්ඩුව පත්වූ පසු අපි රක්ෂණයක් ආරම්භ කරලා  තියෙනවා අවතැන් වූ අයටත්, ජීවිත හානි වූ අයටත්, විශේෂයෙන්ම ගෙවල් කැඩිලා ආපදා සිදුවූ අයටත් මුදලක් ලබාදෙන්න. ඒ හරහා රජයට වැයවීමට තිබූ විශාල මුදලක් මේ රක්ෂණය හරහා අපිට ලබාගන්න පුළුවන්. නමුත් පසුගියකාලය සමග බැලුවම අපේ දුර්වලතාවය තමයි අපි මාධ්‍යයට කරන ප‍්‍රදර්ශනය අඩුයි. ඒක සමහරවිට දුර්වලතාවයක් කරගන්නවා. රජයක් හැටියට අපි බලාපොරොත්තුවෙන්නේ මාධ්‍යය ඉස්සරහට ගිහිල්ලා කතා කරන එක නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ වැඩ ටික කරලා ඒ පිළිබඳ මාධ්‍යය දැනුවත් කිරීම පමණයි. පසුගියකාලේ මේ රටේ තිබුණ ක‍්‍රමවේදයත් එක්ක මම හිතන්නේ ඒක දුර්වලතාවයක්. නමුත් අපේ රජය ආරම්භයේ සිට මේ දක්වා විශාල සංවර්ධන වැඩසටහන් කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවක් හැටියට පසුගියකාලය සමග සංසන්දනය කරනකොට ආණ්ඩුව ආරම්භයේදී පැවති බඩු මිළට සාපේකෂව අද මිළ අඩුයි. ඒ අනුව මහ ජනතාවට බරක් වෙලා නැහැ. නමුත් පසුගියකාලේ වෙලා තියෙන ණය අපිට ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. නමුත් අපි හැකි තරම් සාමාන්‍ය ජනාතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු අඩු කරලා තියෙනවා. ඒ  නිසා ජනතාවට දැන් බරක් නැහැ... ” යැයිද  අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවසීය.

මෙම  වෛද්‍යසායනය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ ගාල්ල වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. වෛද්‍ය සායනයට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා කටයුතු සම්පාදනය කළේය. ඒ සඳහා අනුග‍්‍රහය දැක්වූයේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයයි.