ණය බර දකුණට මෙන්ම උතුරටත් දැනෙනවා - රට සංවර්ධනය කිරීමේදී සිංහලද දෙමළද මුස්ලිම්ද කියා බලන්නේ නැහැ_ඇමැති අර්ජුන පවසයි.

රට ගිලී ඇති ණය බර දකුණට මෙන්ම උතුරටත් දැනෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. රට සංවර්ධනය කිරීමේදී සිංහලද දෙමළද මුස්ලිම්ද කියා බැලීමට හැකියාවක් නැති බවද එතුමා අවධාරණය කරයි. රටේ සහජීවනය සහ සමඟිය ඇති කිරීම උදෙසා උතුරු ප්‍රදේශයේ සංවර්ධනය වේගවත් කළ යුතු බවද අර්ජුන රණුතුංග අමාත්‍යතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය යාපනය කයිට්ස්හිදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් අතර ආරක්ෂාකාරි බෝට්ටු සේවාවක් ඉතා ඉක්මනින් ආරම්භ කරන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 “රට සංවර්ධනය කිරීමේදී දකුණු කියලා වෙන් කරන්නේ නැහැ. උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ලෙස සමස්තයක් ලෙස රට සංවර්ධනය කිරීමට අපි අපේක්ෂා කරනවා. පසුගියකාලේ අපිට තිබුණ ප්‍රශ්නය වුණේ මුදල්. අපි ණය වුණු ජාතියක් බවට පත් වුණා. මේ ණය බර නැගෙනහිර ඉන්න අයටත්, බස්නාහිර ඉන්න අයටත්  දකුණේ ඉන්න අයටත් මෙන්ම උතුරේ ඉන්න අයටත් බලපානවා. නමුත් අපි මේ වනවිට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කර තිබෙනවා. අද අපි ආරම්භ කරන යාපනය අර්ධද්වීපයේ දූපත් අතර ප්‍ර‍වාහන ව්‍යාපෘතිය එහි එක් පියවරක්. ඒ යටතේ උතුරේ දුපත්වල ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරනවා...” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේය.

 වෙරළාසන්න මගී ප්‍ර‍වාහන විෂය අයත් වන්නේ වරාය සහ නාවික අමාත්‍යාංශයට වේ. එම විෂය ව්‍යාප්ත කිරීම සඳහා මේ වර්ෂයට රජය වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 50කි.  යාපනය අර්ධද්වීපයේ දූපත් අතර ප්‍ර‍වාහන කටයුතු විධිමත් කිරීම සහ නියාමනය කිරීමට එම මූල්‍ය ප්‍ර‍තිපාදන මූලික වශයෙන් වැය කෙරේ. එහි මූලික පියවර ලෙස වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය අද විවෘත කෙරුණේ යාපනය කයිට්ස්හිදීය. යෝජිත නාවික යාත්‍රා පරීක්ෂා කිරිමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද අද කයිට්ස්හි සුරුවිල්හිදී ආරම්භ කෙරිණ. ඉදිරි ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍ර‍තිපාදන යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන් මහතා වෙත ලබා දීමද අර්ජුන රණතුංග මැතිතුමාගේ සුරතින් අද සිදු විය.

යාපනය අර්ධද්වීපයේ වෙරළාසන්න මගී ප්‍ර‍වාහනය සිදු කෙරෙන දුපත් 5කි. ඒ නාගදීපය, ඩෙල්ෆ්, අනලතිව්, එලුවතිව්, කරෙයිතිව් වේ. බොහෝවිට මේ දූපත් අතර වූ මගී ප්‍ර‍වාහනය අනාරක්ෂිතව සිදු කෙරේ. ගාස්තු අය කිරීමේ නිසි ක්‍ර‍මවේදයක්ද නොපවතී. ඇතැම් යාත්‍රා අබලය. රක්ෂණ ක්‍ර‍මවේදයක්ද භාවිත නොකරයි. ගමන්වාර කාලසටහනක්ද නැත. වරාය හා නාවික අමාත්‍යාංශයේ අපේක්ෂාව වන්නේ එවැනි ගැටළු හඳුනා ගනිමින් ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීමයි. අද පැවැති උත්සවයට රාජ්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධීර මහතා,  වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා, ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.