කොළොම්තොට වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව වරාය බෞද්ධ සංගමය සංවිධානය කරන කොළොම්තොට වෙසක් කලාපය විවෘත කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණ. ඒ කොළොම්තොට වෙසක් කලාපයේ විදුලි ආලෝකය විවෘත කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සිදු කරමිනි. මෙම අවස්ථාවට ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා, ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ධම්මික රණතුංග මහතා ඇතුළු සැදැහැවතුන් රැසක් සහභාගි වූහ. ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ වරාය බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය නිකුල පඥ්ඥාසාර නායක ස්වාමීන්වහන්සේ විසිනි.

කොළොම්තොට වෙසක් කලාපය මෙවර සංවිධානය කරනුයේ තුන්වැනි වරටයි. වරාය හා නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම වෙසක් කලාපය සංවිධානය කරයි. තොරණ, වෙසක් කූඩු, දන්සැල්, භක්ති ගීත සංදර්ශන, ගීත නාටක සහ තවත් අංග රැසක් ඊට ඇතුළත් වේ. ගීත නාටකය ඉදිරිපත් කරනුයේ කුරුණෑගල වයඹ විමුක්ති කලා කේන්ද්‍රය විසිනි. මෙවර වෙසක් කලාපයේ ප්‍රධානතම විශේෂත්වය වූයේ ගංවතුරින් අවතැන් වූ ජනතාවද ඉලක්ක කර පැවැති මහා දන්සලයි. එම දන්සල නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ගංවතුරින් අවතැන් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 182 කට සහන සැලසීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

 “ මේ වෙසක් කලාපය වරාය අධිකාරියේ සේවකයින්ගේ කැපවීම මත ගොඩනැඟුණක්. වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට වරාය පන්සල ලෙස හඳුන්වන කොටුව ශ්‍රී බෝධිරාජ විහාරයේ විහාරාධිපති නිකුල ස්වාමීන්වහන්සේත් විශාල වශයෙන් මහන්සි වුණා. ඒ වගේම මේ වෙසක් කලාපයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි වෙසක් කලාපයේ දන්සල. වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන අයට වගේම ගංවතුරින් අවතැන් වූ අයට සහන සැලසීමටත් අපි මේ දන්සල යොදා ගන්නවා. ඇත්තටම මේ වෙසක් කලාපයේදී අපේ තේමා පාඨය වුණේ අපේ සංස්කෘතිකාංග අපේ දරුවන්ට උරුම කරදීම වගේම සමාජ සත්කාරයක් සිදු කිරීම.......” යැයිද අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවසීය.