දිළිඳුකමින් තොර දේශයක්  නිර්මාණය කිරීමට  සැවොම එක්වෙමු - අමාත්‍ය අර්ජුන රණතුංග නව වසරට සුභාශිංසන එක්කරමින් පවසයි.

තිරසාර සංවර්ධනයක් සඳහා දිළිඳුකම තුරන්කර සෑම පුද්ගලයෙකුටම සමානව සලකන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම සඳහා සියලු දෙනාම නව වසරේදී අධිෂ්ඨාන කර ගත යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. 2017 නව වසර වෙනුවෙන් සුභාශිංසන එක්කිරීම සඳහා සංවිධානය කෙරුණු උත්සවයට සහභාගීවෙමින් අර්ජුන රණතුංග මැතිතුමා මෙම අදහස් පළ කළේය. මෙම උත්සවය අද පෙරවරුවේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණී. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පති, අතිරේක ලේකම්(සංවර්ධන) කාන්ති පෙරේරා, අතිරේක ලේකම් පී.හතරසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයද එක්වූහ. 

 “ අලුත් වසරක් ඇරඹිලා රාජකාරී අරඹන පළමුවැනි දිනය අද. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අධිෂ්ඨාන ඉටු කරන අවුරුද්දක් බවට මේ වසර පත් කළ යුතුයි. රාජ්‍ය සේවකයෝ හැටියට විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වන්නේ හරි දේ හරි විදියට කිරීමයි. අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්, ලේකම්වරයෙක් වෙන්න පුළුවන්, නිළධාරියෙක් වෙන්න පුළුවන් අපේ අරමුණ විය යුත්තේ රටට අවශ්‍ය ක්‍ර‍මවේදය නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් දර්ශනය මත දිළිඳුකම නැති කර මේ රටේ සෑම පුද්ගලයෙකුටම එක සේ සලකන ක්‍ර‍මවේදයක් ඇති කිරීම. ඒ සඳහා අදින් අරඹන නව වසරේ අපි සියලුදෙනාම කටයුතු කළ යුතුයි. පසුගිය ඉතිහාසය ගැන කතා කරමින් ඉන්නවට වඩා අදයි හෙටයි ගැන කතා කිරීම තමයි වැදගත් වෙන්නේ. මම දකින ප්‍රායෝගික තත්ත්වය එයයි. මොකද අපි හැමදාම අතීතයේ සිදුවූ වැරදි හඞ නගා කිය කියා ඒවට උත්තර බැඳ බැඳ ඉන්නවා. නමුත් අලුත් රජයක් හැටියට අද වනවිට අපි ඒ තත්ත්වය වෙනස් කරලා තියෙනවා. අපේ අමාත්‍යාංශයේත් අරමුණ විය යුත්තේ එයයි. අපි අපගේ රාජකාරී නිසි ලෙස ඉටු කළ යුතුයි. ඒ සඳහා තමුන්නාන්සේලාගේ දායකත්වය සහ සහයෝගය මටත්, ලේකම්තුමාටත්, වරාය අධිකාරිය, නැව් සංස්ථාව ඇතුළු අපේ යටතේ ඇති අනෙකුත් ආයතන වල අයටත් ලබාදී මේ අමාත්‍යාංශය වඩා හොඳින් වැඩ කරන රාජ්‍ය සේවකයන් සිටින අමාත්‍යාංශයක් බවට පත්කිරීම සඳහා සියලුදෙනාම අත්වැල් බැඳගන්නැයි ඉල්ලනවා... ”යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

2017 නව වසර වෙනුවෙන් සුභාශිංසන එක්කළ අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පති මැතිතුමා එහිදී පෙන්වාදුන්නේ, තම වගකීම මැනවින් හඳුනාගෙන කටයුතු කිරීම තුළින් දිළිඳුකම පිටුදැකීමේ කර්තව්‍යට සියලුදෙනාට දායක විය හැකි බවයි.

“දිළිඳුකමින් තොර දේශයක් නිර්මාණය කිරීමට සියලුදෙනා අධිෂ්ඨාන කරගත යුතුයි. වරාය සහ නාවික කටයුතුවලදී ලංකාව දූපතක් විදියට මේ ආයතන වලින් ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කෙරෙනවා. සමස්ත ආනයන, අපනයන සහ ප්‍රතිඅපනයන කටයුතු කරන්නේ වරාය සහ ගුවන් තොටුපළ හරහා. ලංකාව දූපතක්. අවට ලෝකයත් සමග මාර්ග සම්බන්ධතාවක් නැහැ. සම්බන්ධතා පවත්වන්නේ ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන්. අප සමඟ ගනුදෙනු කරන වෙළඳාම් කරන රටවල් හා ආයතන සඳහා හොඳ කාර්යක්ෂමතාවයෙන් යුත් සේවයක් ලබාදුන්නොත් කොළඹ වරායට ඉදිරියේදී නැව් පැමිණීම වර්ධනය වෙනවා. දැනට අවුරුද්දකට නැව් 3500 ක් පමණ එනවා. එය තවත් වර්ධනය විය යුතුයි. ඒ නිසා මේ ඉලක්ක ඔස්සේ කටයුතු කළොත් රටට සහ මේ ආයතනයට ලැබෙන ආදායම ඉහළ යනවා. ඒක රටට ශක්තියක්. ඒ නිසා තමන්ට පැවරෙන වගකීම මැනවින් තේරුම් ගෙන ඉතා හොඳින් කටයුතු කරන්න. එසේ කළොත් අපිටත් මේ දිළිඳුකම පිටුදැකීමේ කර්තව්‍යට දායක වෙන්න පුළුවන්...” යැයිද ලේකම්තුමා එහිදී පැවසීය.