නැගෙනහිර පර්යන්තය පිළිබඳ කටයුතු කළ යුත්තේ ඉතා නිවැරදි දැක්මකින්

නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සිදුකිරිම ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරිම, කොළඹ වරාය සුහුරු වරායක් බවට පත්කිරිම, වරායේ මානව සම්පත දියුණු කිරිම යටතේ ශ්‍රි ලංකා වරාය අධිකාරිය දියුණු කිරිමට තමා ඇප කැප වන බැව් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එතුමා මේ බැව් ප්‍ර‍කාශ කළේ 2019.08.06 වන දින වරාය මහපොළ සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති වරාය මෙහෙයුම් කලමනාකරණ ඩිප්ලෝමා ප්‍ර‍දානෝත්සවයට එක්වෙමිනි.

වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා, දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා විසින් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය අද දවසේ සාර්ථකත්වය කරා පැමිණි ඇති බව පැවසීය. තවද එදා ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා හෙළි කළ මග ඔස්සේ නිවැරදි වූ දැක්මකින් යුක්තව කටයුතු කිරීමට තමා නිරන්තරයෙන් අපේක්ෂා කරන බවත්, තමා කිසිඳු විටෙක තීන්දු තීරණයක් ගැනීමේ දී වරාය අධිකාරිය, එහි සේවක ප්‍ර‍ජාව හා රට පිළිබඳ සිතා එම තීරණ වෙත එළඹෙන බැව් අවධාරණය කළේය.

තමා මෙම අමාත්‍ය ධූරය භාරගත් මොහොතේ වරාය පිළබඳ අධ්‍යයනය කිරීමේ දී නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දැඩි පීඩනයක් පැවති බවත්, එය එපමණට ම මෙම ආයතනයට හා රට ට වැදගත් වූවක් බැව් තමා අවබෝධ කරගත් බවත් පැවසීය. එබැවින් නැගෙනහිර පර්යන්තය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී රටට ඉතාම ඵලදායී වූ තීරණ මත හිඳ කටයුතු කිරීමට තමා ඇප කැප වන බවත් පැවසීය.

තවද ආයතනයක චිරස්ථිතිය උදෙසා පුහුණු මානව සම්පත ඉතා වැදගත් බවත්, මෙම වරාය මෙහෙයුම් කලමනාකරණ ඩිප්ලෝමා ප්‍ර‍දානෝත්සවයට පැමිණීමට ලැබීම පිළිබඳ තමා ඉතාමත් සතුටට පත්වන බවත් පැවසීය. එමෙන්ම එම ඩිප්ලෝමාධාරීන් ස්වකීය දැනුම, කුසලතා, ආකල්ප නිසි අයුරින් කලමනාකරණය කර වරායේ හෙට දවස නංවාලීමට කැප වේ යැයි තමා විශ්වාස කරන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා උත්සව සභාව අමතමින් දිවංගත ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා තම පියාගේ සමකාලීන මිතුරෙක් බවත්, එතුමා ස්ථාපිත කළ වරාය අද ලෝකයේ විශ්මිත ම වරායයන් අතරට පැමිණ තිබෙන බවත්, සියලු සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම ඒ සඳහා බෙහෙවින් ඉවහල් වන බවත් පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය මගින් ආරම්භ කරන ලද මෙම වරාය මෙහෙයුම් කලමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව වසර 2 ½ ක කාලපරිච්ඡේදයක් පුරා වරාය මෙහෙයුම් හා කලමනාකරණ ක්ෂේත්‍ර‍ පදනම් කරගත් පාඨමාලාවකි. වරාය අධිකාරියේ විවිධ ශ්‍රේණිවලට අයත් සේවක මහත්ම මහත්මීන් 40 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථක ලෙස නිම කර ඩිප්ලෝමා සහතික හිමි කර ගනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කලමනාකාර අධ්‍යක්ෂ උපාලි ද සොයිසා ඇතුළු අධ්‍යක්ෂවරුන්, උසස් නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් රැසක් එක් වූහ.