මහපොළ අභ්‍යාස ආයතනය මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය ලෙස නම් කෙරේ.

1987 වර්ෂයේ දී දිවංගත වෙළඳ හා නාවික ගරු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනය, සිය 30 වන සංවත්සරය සමරන අද දින (2017.01.20) වරාය හා නාවික ගරු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් ලෙස  “මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය” ලෙසින් නම් කරනු ලැබේ. ඒ අනුව මෙතෙක් පැවති ආයතනගත ස්වරූපය වෙනස් වෙමින් නව ලොවට සරිලන අභ්‍යන්තර හා බාහිර පාඨමාලා සමගින් විශ්ව විද්‍යාල මට්ටමට උසස් වනු   ඇත.

ශ්‍රී ලංකා වරාය  අධිකාරිය සමුද්‍රික ක්‍ෂේත්‍රයේ  නව මානයන් වෙත යොමු වෙමින් සමුද්‍රීය හා නාවික ක්‍ෂේත්‍රයේ පුහුණු අංශයේ ස්වකීය කීර්තිනාමය ප්‍රසාධනීය මට්ටමට ගෙන යමින් මහපොළ අභ්‍යාස ආයතනය ව්‍යුහාත්මකව, ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධන ප්‍රවේශයකට පිවිසීමට  සමත්ව තිබේ.

මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය ( Mahapola Ports and Maritime Acedemy )  ලෙසින්  අද  දවසේ  නාමකරණයට  ලක්  වූ  මහපොළ  අභ්‍යාස  ආයතනය  ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම නාවිකයන් පුහුණු කිරීමේ ආයතනය වන අතර, එය දිගුකාලීන නාවික හා වරාය ක්‍ෂේත්‍රය තුළ අභ්‍යාස ආයතනයක අවශ්‍යතා සපුරාලනු වස් ඇති කළ ආයතනයකි. දිවංගත වරාය හා නාවික අමාත්‍ය ලලිත් ඇතුලත් මුදලි මැතිතුමාගේ සංකල්පයක් අනුව ජපන් රජයේ ආධාර යටතේ ඉදිකරන ලද මහපොළ අභ්‍යාස ආයතනය 1987 වර්ෂයේ දී දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා විසින් ජනතා අයිතියට පත් කරන ලදි.

ISO 9001- 2008 තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාවික හා සමුද්‍රීය අභ්‍යාස ආයතනය වන මෙමගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ පුහුණු අවශ්‍යතා පූර්ණය කරමින්, පුහුණු පාඨමාලා රැසක් සංවිධානය කර ඇති අතර, දෙස් විදෙස් පුහුණුවන්නන් සඳහා පාඨමාලා 08ක් පමණ සිදු කරන අතර, කළමණාකරණ පුහුණු පාඨමාලා 22ක්, තොරතුරු තාක්‍ෂණ පාඨමාලා 15ක්, තාක්‍ෂණික පුහුණු පාඨමාලා 09ක්, ගිණි ආරක්‍ෂක හා වෘත්තීය ගත සෞඛ්‍ය සම්බන්ධ පාඨමාලා 10ක්, වරාය මෙහෙයුම් හා සේවා සම්බන්ධ පාඨමාලා 11ක් පමණ පවත්වාගෙන යනු ලබන අතර, සාම්ප්‍රදායික පාඨමාලා ක්‍රමවේදය අතික්‍රමණය කරමින් ප්‍රමිතිගත විභාග ක්‍රමයක් ඔස්සේ පාඨමාලාවන් හි ගුණාත්මක භාවය ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට පියවර ගෙන ඇත.

අති නවීනතම මෙකාට්‍රොනික් විද්‍යාගාර පහසුකම් හා පරිගණක විද්‍යාගාර පහසුකම් මෙන්ම දකුණු ආසියාවේ ඇති එකම ග්‍රැන්ටි දොඹකර පුහුණුවට යොදා ගන්නා ආදර්ශක පරිගණක ගත දොඹකර මෙහෙයුම් පද්ධතියකින් ද මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය සමන්විත වේ. එමෙන්ම, පර්යන්ත මෙහෙයුම්, ඉංජිනේරුමය සැළසුම්, නාවික ගිනි නිවීම් රියදුරු වැනි පාඨමාලාවන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් ද මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය සතු වේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව මානව සම්පත් කළමණාකරණ ඩිප්ලෝමාව, ඉංග්‍රීසි ඩිප්ලෝමාව, ආරක්‍ෂක ඩිප්ලෝමාව, වරාය කළමණාකරණ ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ලෙසින් පවත්වාගෙන යනු ලබයි.

විදේශීය ආධාර යටතේ සමුද්‍රීය විද්‍යාගාර කිහිපයක් ඉදිකිරීමට ද අපේක්‍ෂිතය. එමගින් මෙම ආයතනය නවීන පුහුණු ක්‍ෂේත්‍රයේ ඉහළට ගෙන යාමට බලාපොරොත්තු වේ. ඒ තුළින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් හා භාහිර පුහුණු අපේක්‍ෂිතයන් සඳහා ප්‍රශස්ත පුහුණු අවශ්‍යතා සපුරාලීම අපේක්‍ෂිත ය.

විෂයභාර ගරු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් හා උපදේශකත්වයෙන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතාගේ නායකත්වයෙන් මෙම ආයතනය හෙට දවසේ සමුද්‍රික ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ආයතනය බවට පත්කිරිමට අපේක්‍ෂිතය.