වරාය අධිකාරියේ අසංක සමිත් හෙට්ටිහේවාගෙන් ජාතික අධ්‍යාපනයට මෙහෙවරක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික ඉංජිනේරු කොට්ඨාසයේ සේවය කරන අසංක සමිත් හෙට්ටිහේවා මහතා රචනා කළ “හොඳම වැඩපොත්...” කෘති පෙළ ලබන බදාදා එළි දැක්වේ. ඒ ජූලි මස 06 වැනි දින දෙහිවල එස්. ද. එස් ජයසිංහ ශාලාවේදීය. මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ අවස්ථාවට හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, හිටපු නාගරික සංවර්ධන හා ජල ප්‍රවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ඇමතිනී දෙහිවල එක්සත් ජාතික පක්ෂ සංවිධ‍ායිකා සුනේත්‍රා රණසිංහ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න යන මහත්ම මහත්මීන් ද සහභාගී වීමට නියමිතය. පොත් එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් අසංක සමිත් හෙට්ටිහේවා මහතා පැවසූයේ පාසල් ළමයින් සඳහා හොඳ වැඩපොතක අවශ්‍යතාවය මතුව ඇති බැවින් තමන් හොඳම වැඩ පොත් රචනා කළ බවයි. එම පළමු පොත් කට්ටලය ගරු වරාය සහ නාවික අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමන් වෙත පිළිගන්වන බවද ඔහු කියා සිටියේය.

“ මීට වසර දෙකකට පෙරදී පාසල් විෂය නිර්දේශය වෙනස් වුණා. නමුත් වැඩපොත් ඒ සමගාමීව ලියවුණේ නැහැ. මේ නිසා හොඳ වැඩපොතක අවශ්‍යතාව පැන නැඟුණා. හොඳම වැඩපොත අලුතින් ලිවීමට මම හිතුවේ ඒ නිසා. හොඳම වැඩපොත සිංහල සහ ඉතිහාස විෂය සඳහා ලියවුණක්. ඒ කියන්නේ සිංහල සඳහාත් ඉතිහාසය සඳහාත් හොඳම වැඩපොත් වෙන වෙනම ගන්න පුළුවන්. මේ වැඩපොත් 06 වසරේ සිට 11 වසර දක්වා ආවරණය කරනවා. මෙය ගුරු ශිෂ්‍ය දෙපාර්ශවය සඳහාම වැදගත් වූවක්...” යැයිද ඔහු එහිදී පැවසීය.

අසංක සමිත් හෙට්ටිහේවා මහාතාගේ හොඳම වැඩපොත් කට්ටලයට ඇතුළත් පොත් සංඛ්‍යාව 15කි. ඊට සිංහල සහ ඉතිහාසය විෂය ඇතුළත් වේ. එම මෙම පොත් එළිදැක්වීමේ උත්සවය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතය. එදින සහභාගි වන සියලු ශිෂ්‍යයින් සඳහා දක්ෂතා සහතික පත්‍ර පිරිනැමීමටත් තෝරා ගත් අයට තෑගි පිරිනැමීමත් විශේෂයෙන් සිදුවනු ඇත. සමාජ සත්කාරයක් ලෙසින් මෙම පිරිනැමීම  සිදු කෙරේ.