මාස 15කට පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළුම් මෙහෙයුමේ ධනාත්මක වර්ධනයක්....

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය බහළුම් මෙහෙයුමේ ධනාත්මක වර්ධනයක් නිමාවූ ජනවාරි මාසයේදී වාර්තා කරයි. එහි විශේෂත්වය වන්නේ මාස 15කට පසුව එවැනි ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමයි. ප්‍රතිශතයක් ලෙස ගත් විට එකී වර්ධනය + 3.6කි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය බහළුම් මෙහෙයුමේදී මීට පෙර ධනාත්මක වර්ධනයක් වාර්තා කළේ 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදීයි. එහි වර්ධන ප්‍රතිශත + 1.5ක් විය. ඉන්පසුව 2014 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළුම් මෙහෙයුම ඍණ අගයක් දක්වා පහළ වැටිණ. ඒ - 1.1 ක් වශයෙනි. 2014 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළුම් මෙහෙයුම තවදුරටත් - 8.8 දක්වා පහළ වැටිණ. කෙසේවෙතත් 2015 ජනවාරි මාසයේදී ඇතිවූ පරිපාලන වෙනසත් සමග ඍණ අගයක පැවැති බහළුම් මෙහෙයුම ධනාත්මක වර්ධනයක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වන විට සමත්ව සිටී. නිමාවූ වූ ජනවාරී මාසයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙහෙයවූ සමස්ත බහළුම් ප්‍රමාණය 197228ක් වේ. 2015 ජනවාරී මාසයේදී එම අගය 190285ක් විය. මෙම වර්ධනය ගැන අදහස් දක්වමින් ගරු වරාය සහ නාවික අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ සේවකයින්ගේ කැපවීම මත මෙම ජයග්‍රහණය උදා කර ගැනීමට හැකි වූ බවයි.

“මේ සේවකයෝ රාජකාරිය කරන්නේ ඉතාමත් පැරණි ආම්පන්න එක්ක. අපි සේවකයන් දැනුවත් කරලා විශේෂයෙන්ම අලුත් නිලධාරී මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා සේවකයන්ගේ ක්‍රියාත්මකභාවය වැඩි කරලා මෙම ධාරිතාවය වැඩි කර තිබෙනවා. මම සන්තෝස වෙනවා, අපිට තියෙන්න් අවුරුදු ගාණක් පැරණි ආම්පන්න. අලුතින් පසුගියකාලේ කවදාවත් ආම්පන්න අරගෙන නැහැ. අද අපිට තියෙන මූල්‍යමය තත්වය අනුව අලුතින් ආම්පන්න ගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. එසේ තිබියදීත් මේ සේවකය්නගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මම සන්තෝස වෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීලා ඉදිරියේදී මෙම ක්‍රියාත්මකවීම දියුණු කරලා මේ වසර අවසානය වනවිට ලෝකයේ ඇති ප්‍රධාන වරාය 20 අතරට කොළඹ වරාය පත්කිරීම තමයි අපේ බලාපොරොත්තුව......” යනුවෙන්ද අර්ජුන රණතුංග අමාත්‍යතුමා එහිදී පැවසීය. එතුමා මේ බව පැවසූවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ සේවයකින් අද (02)  හමුවෙමිනි.  සමස්ත බහළුම් මෙහෙයුම වැඩි කර ගැනීම සඳහා කැපවූ සේවකයින්ට ස්තුතිය පළ කිරීමටත්, සේවකයින්ගේ සුභ සාධනය ගැන සොයා බැලීමටත් මෙම හමුව සංවිධානය කර තිබිණ. හමුව  සංවිධානය කළේ  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සේවක සංගමයයි.