හම්බන්තොට වරායේ ආරක්ෂාව වරාය අධිකාරිය යටතේ තිබිය යුතුයි - ඇමති අර්ජුන.

“අපි නාවික හමුදා බේස් එක වෙනස් කරන්නේ නැහැ. ඔවුන් එම ස්ථානයේ ඉන්නවා. ඉදිරියේදීත් වරායේ ආරක්ෂාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. නැව්, කොල්ලකරුවන්ගේ ග්‍ර‍හණයට ලක්වෙනවා නම් දේශීය හෝ විදේශීය වේවා එම නෞකා භේරාගැනීම නාවික හමුදාවේ ප්‍ර‍ධාන වගකීමක්. අපි නාවික හමුදාවෙන් බලාපොරොත්තු වන්නෙත් එයයි. පසුගියකාලේ අපි දැක්කා මේ රටට කොකේන්, ගංජා වැනි අනවශ්‍ය  දේවල් එනවා. පසුගියකාලේ තිස්සෙම මේක හබ් එකක් වෙලයි තිබු‍ණේ. මෙහෙන් තමයි ඒ දේවල් අනෙකුත් රටවල් වලට බෙදා හැරෙන්නේ. අද වනවිට රේගුව බොහෝදුරට මෙවැනි හොරකම්,  දූෂණ අල්ලනවා.  මම කියන්නේ හම්බන්තොට වරායේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම වරාය අධීකාරිය යටතේ තිබිය යුතුයි. ඒ  ස්ථාවරයේ මම ඉන්නවා. අපි ඒ ගැන අගමැතිතුමාවත් දැනුවත් කරලා තියෙනවා. මොකද වරායක ආරක්ෂාව ගැසට් පත්‍රයකින් භාරදීලා තියෙන්නේ වරාය අධිකාරියට. ඊට අමතරව නාවික හමුදාවේ සහ පොලිසියේ සහය අපිට අවශ්‍ය ඕනම අවස්ථාවකදී ලබාගන්න පුළුවන්. ආරක්ෂාව පෞද්ගලික ව්‍යාපාරයකට භාරදීමට වඩා රජය යටතේ තිබීම වැදගත් යැයි මම සලකනවා.....” යැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ පසුගියදා(17) හම්බන්තොට මාගන්පුර වරායේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා අවධාරණය කළේ හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු අත්‍යවශ්‍යම සාධකයක් වන බැවින් එය වරාය අධිකාරිය යටතේ පැවතිය යුතු වන බවයි.

“ගාල්ල වරායේ කටයුතු විදේශිකයින් ගෙන්වා ගැනීමේ අරමුණින් අපි කරගෙන යනවා. ඒ හේතුවෙන් නාවික හමුදාවේ විශාල කණ්ඩායමක් ගාල්ල වරායෙන් ගෙනැවිත් හම්බන්තොට වරායෙහි ස්ථාපිත කළා. ගාල්ල වරායෙන් හමුදාව ඉවත් කිරීම හරහා විදේශිකයින් මේ රටට ගෙන්වාගැනීමේ හැකියාව ලැබුණා. මොකද බොහෝ සංචාරකයින් හමුදාව සිටින ප්‍රදේශයන්හි සංචාරක කටයුතු වල නිරතවෙන්නේ නැහැ. ඒ නිසා අපි අවශ්‍යම හමුදා නිළධානීන් සුළු ප්‍ර‍මාණයක් ගාල්ල වරායේ ආරක්ෂාවට යොදවා  ප්‍ර‍ධාන වශයෙන් මූලස්ථානයක් හැටියට හම්බන්තොට වරායට අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. මුහුදු මාර්ගය අනුව ඉතාම වැදගත් ස්ථානයක හම්බන්තොට වරාය පිහිටා තියෙනවා. ඒ නිසා හම්බන්තොට වරායට අවශ්‍ය ආරක්ෂාව සැපයීම සඳහා නාවික හමුදාවට අවශ්‍ය පහසුකම් ලබාදීම වරාය අධිකාරියේ පමණක් නොව රටේත් වගකීම වෙනවා....” යනුවෙන්ද අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.