ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් සපයනවා - ඇමති අර්ජුන පවසයි.

ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් සපයන බව ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ නැව්ගත කරන්නන්ගේ සංගමයට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක්කරමිනි. අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ සේවකයින්ගේ අඛණ්ඩ කැපවීම, උත්සාහය හා නිසි කලමනාකාරීත්වය ආයතනයේ දියුණුවට හේතුවූ බවයි.

“වරාය හා නාවික අමාත්‍යවරයා විදිහට මම විශේෂ අවධානයක් යොමු කරනවා ආනයන අපනයන සංවර්ධනය සම්බන්ධයෙන්. මෙය අපේ ජාතික ආර්ථිකයට ඍජුවම බලපානවා. මම විශ්වාස කරන විදිහට නැව්ගත කරන්නන්ගේ සංගමය රටේ සංවර්ධනයට විශේෂ දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය දක්වන්නේ විශාල දායකත්වයක්. නැව් හිමියන්ගේ ආරක්ෂාවට සහ ප්‍රවර්ධනයට නැව් සමාගම් ලොකු දායකත්වයක් ලබා දිය යුතු වෙනවා. අතීතය ගැන සළකා බැලීමේදී 1996 මාර්තු මස නැව් සංස්ථාවේ ආරම්භයත් සමඟ බොහෝ අවස්ථාවලදී ලංකාවේ ආර්ථිකයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. මම විශ්වාස කරනවා  මෙම ආයතනයේ සියළු සේවක මහත්ම මහත්මීන්ගේ අඛණ්ඩ කැපවීම , උත්සාහය සහ කළමණාකාරීත්වය මෙම ආයතනයේ දියුණුවට හේතු වුණා කියලා. අනාගතයේදී මම බලාපොරොත්තු වෙනවා මෙම ආයතනය තවත් විශාල ජයග්‍රහණ ලබා ගනී කියලා… ” යැයි ද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමය ආසියාවේ පිහිටවූ පළමු ජාතික නැව්ගත කරන්නන්ගේ සංගමයයි. මෙය 1966 වර්ෂයේ පිහිටුවන ලදි. මෙම සංගමය ස්ථාපිත කිරීමට මූලික දායකත්වය ලබා දී ඇත්තේ එක්සත් ජාතික වෙළඳ හා සංවර්ධන සමුළුවයි. එසේම මෙම කවුන්සලයේ සාමාජිකත්වය ගෙන ඇති ආයතන කිහිපයකි. එනම් වාණිජ මණ්ඩල ආයතනය, වෙළඳ සංගමය සහ  ස්වාධීන ආයතනයි. මෙම කවුන්සිලයේ කළමනාකරණ මණ්ඩලයට නිෂ්පාදන සමාගම් 14ක් ඇතුළත් වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ප්‍රතිශතයෙන් විශාල ප්‍රමාණයක දායකත්වයක් ලබා දීමට මෙම ආයතනය සමත් වී තිබේ. මෙම ආයතනයේ 50 වැනි සැමරුම් උත්සවය  ඊයේ.(28) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් නැව්ගත කරන්නන්ගේ සංගමයේ සභාපති ශෝන් වෑන් ඩෝට් මහතා පැවසූයේ,

“ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන වෙළඳාමේ දියුණුවට මෙම නැව්ගත කරන්නන්ගේ සංගමය ලොකු දායකත්වයක් ලබා දෙනවා. මේ රට මිලියන 20 ජනතාවක් ජීවත් වන පුංචි දූපතක්. නමුත් අපි ජාත්‍යන්තර වෙළඳපොලට යායුතු වෙනවා ලෝකයේ අංක එකේ නිෂ්පාදන අරගෙන. අපි ස්ථීර වශයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලේ සාමාජිකයින් විය යුතු වෙනවා. නැව්ගත කරන්නන්ගේ සංගමයේ උත්කර්ෂවත් අවස්ථාවක් වන 50 වන සංවත්සරය සමරන මෙම මොහොතේදී මෙම පණිවිඩය දීමට ලැබීම සතුටක්...”  යනුවෙනි.