කොළඹ වරායේ SAGT පර්යන්තයෙහි SOLAS සම්මුතිය ක්‍රියාවට නැංවීමට පියවර.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පළමු පෞද්ගලික බහළුම් පර්යන්තය වන SAGT ආයතනය SOLAS හි තහවුරු කරන ලද දළ නීතීන් සිය පර්යන්තයෙහි පිහිටුවීම සඳහා වූ සංවාදශීලී සැසිය පසුගිය 22 වනදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණී. SAGT  ආයතනය, ශ්‍රී ලංකා නැව් තැරැව්කරුවන්ගේ සංගමයේ (CASA) සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නැව් ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAVO) සාමාජිකයින් එක්ව මෙම සැසිය පවත්වන ලදී. මෙම අවස්ථාවට වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න, ප්‍රධාන වෙළඳ  නිළධාරී ටෙට් මුත්තයියා, සාමාන්‍යාධිකාරී මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ උපුල් ජිනදාස යන ආයතන ප්‍රධාන නිලධාරීන්ද සියයකට ආසන්න නැව් සමාගම් නියෝජිතයින් සහ නැව් සමාගම් ඒජන්තවරුන් ද සහභාගී වූහ.

අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය විසින් 1974 වර්ෂයේදී ජාත්‍යන්තර වෙළෙඳ නාවික කටයුතු වලදී පිළිපැදිය යුතු පොදු නීති රීති හා රෙගුලාසි හඳුන්වා දී තිබේ.  සියලුම සමුද්‍රීය වෙළඳ නාවික කටයුතු නියාමනය, ආදාළ නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම ඒ අනුව සිදුවේ. බහළු නෞකා වල ආරක්ෂාව වැඩිකිරීම, නෞකා වල ස්ථායීතාව සහ සමබරතාවය පවත්වා ගැනීම,  බහළු විධිමත්ව ගබඩා කිරීම සහ පාරිසරික බලපෑම් අවම කිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින් මෙම සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවේ. මුහුදේ දී ජීවිත ආරක්‍ෂාව (SOLAS) පිළිබඳ VGM නීතීන් ඒ අනුව 2016 ජූලි මස පළමු වනදා සිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමින් ඵලදායීව දියත් කිරීමට නියමිතය.

අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයට (IMO) අයත්  VGM (Verified Gross Mass) සහතිකය නැව් සමාගම් වෙත නිකුත් කිරිමේ වගකීම නැව් ගතකරන්නන් සතු වේ. ඔවුන් සහතිකය නිකුත් කළ පසු නැව් සමාගම හෝ ඒජන්තවරයා එම සහතිකය පිළිබඳ තෘප්තියට පත්වුවහොත් ඔවුන් EDI පණිවුඩය මගින් අදාළ බහලුම් නෞකාවට පැටවීමේ නියෝගය පර්යන්තය වෙත ලබාදෙනු ඇත. මෙම නීතින් ප්‍රායෝගිකව ප්‍රතිස්ථාපනයට සහයවීම සහ යහපත් පරිසරයක් ගොඩනැඟීම සඳහා SAGT ආයතනය මෙය ක්‍රියාවට නැංවීමට මුල පිරීම පිළිබඳව මෙම සැසියට සහභාගී වූවන් අගය කළ අතර මෙම පර්යන්තයේ පාරිභෝගිකයන් අරමුණු කරගනිමින් ප්‍රායෝගික නීති රීතීන් සන්නිවේදනය සහ මෙම නීතීන් ප්‍රතිස්ථාපනයට පෙර ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීම පිළිබඳව මෙහිදී අදහස් පළවිය.

මෙම අවස්ථාවට එක්වෙමින් වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසූයේ මෙම නීති රීතී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ බල තල ශ්‍රී ලංකා රජය සතු වන බවයි. එසේම එම නීති රීතින් ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් අදාළ පාර්ශ්ව වෙත ලබාදීමේ වැඩ පිළිවෙළ දැනටමත් ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එතුමා එහිදී පැවසීය.