මහපොළ අභ්‍යාස ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කරනවා

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහපොළ අභ්‍යාස ආයතනය ඉදිරියේදී විශ්ව විද්‍යාලයක් බවට පත් කරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. නාවික ක්ෂේත්‍රයේ රැකියා උත්පාදනය සඳහා වැඩි අවස්ථා ලබා දීම තම අමාත්‍යාංශයේ මූලික අරමුණක් බවද එතුමා අවධාරණය කළේය. එතුමා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍රීය සතිය සැමරීමේ උත්සවයට අද (23) සහභාගි වෙමිනි. උත්සවය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා රජය සමුද්‍රීය සතියක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. සැප්තැම්බර් 21 වැනි දින ආරම්භ වූ එම සතිය සැප්තැම්බර් 27 වැනිදා අවසන් වේ. හෙටට යෙදෙන (24) ලෝක සමුද්‍රීය දිනය අරමුණු කරගනිමින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත. නාවික කර්මාන්තයේ අධ්‍යාපනය හා පුහුණුව මෙවර ලෝක සමුද්‍රීය දිනයෙහි තේමාව වේ. එම තේමාව පදනම් කරගනිමින් අද පැවැති සමාරම්භක උත්සවය සංවිධානය කළේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයයි. ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේද සහභාගිත්වයෙන් පැවැති එම සමාරම්භක උත්සවය ආරම්භ වූයේ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සුරතින් පැළයක් රෝපණය කරමිනි. අනතුරුව උත්සව සභාව ඇමතූ අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ඉදිරියේදී නාවික විෂය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවයි.
“අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ මහපොළ ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්න.  මේ මහපොළ ආයතනය පටන් ගත්තේ හිටපු අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා. එතුමා වරායට විශාල සේවාවක් කළ ඇමතිවරයෙක්. එතුමා ඇතිකළ මේ අභ්‍යාස ආයතනයෙන් මහඟු සේවාවක් අපේ රටේ වරාය සහ නාවික ක්ෂේත්‍රයට සිදු වුණා. අපේ අරමුණ එය තවදුරටත් ඉදිරියට ව්‍යාප්ත කිරීම. අනාගතයේදී අපිට පුළුවන් වේවි නාවික ක්ෂේත්‍රය විෂයක් ලෙස අධ්‍යාපනයට අතුළත් කිරීමට. අපි මුහුදෙන් වටවුණු දූපතක ජීවත් වෙන්නේ. එයින් අපි නිසියාකාරව ඵලප්‍රයෝජනයක් ලබගෙන නැහැ...... ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

අද පැවැති සමාරම්භක උත්සවයෙන් පසුව බස්නාහිර පළාතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර අධ්‍යාපනික වැඩමුළුවක්ද පැවැත්විණ. ඒ සඳහා බස්නාහිර පළාත නියෝජනය කරමින් සහභාගි වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගණන 200කි. අද පස්වරුවේ කොළඹ වරාය නැරඹීමේ අවස්ථාවද එම සිසුන්ට උදා විය. සමාරම්භක උත්සවයට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂජනරාල් අජිත් සෙනවිතරන්න යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.