වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවට අපේ සම්බන්ධයක් නැහැ - වරාය ජාතික සේවක සංගමය අවධාරණය කරයි.

වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නමින් පෙනී සිටින කණ්ඩායම සමඟ තම සංගමයේ කිසිඳු සම්බන්ධතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයෙහි වරාය ජාතික සේවක සංගමය පවසයි. පසුගිය කාල සීමාවේදී වූ පාලනය කළ නොහැකි සිදුවීම්  තමන් දැඩිව හෙළා දකින බවද එම සංගමය පැවසීය. එම සංගමය අවධාරණ කළේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනඟා ගත් යහපාලන රජයේ ඉදිරි වැඩපිළිවෙලට හදවතින්ම සහාය දක්වන බවයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සමඟ වරායේ දියුණු වෙමින් සහයෝගයෙන් ඉදිරියේදී කටයුතු කරන බවද එම සංගමය අවධාරණය කළේය. ඒ වරාය සහ නාවික අමාත්‍යාංශයේ පැවැති සුහද සාකච්ඡාවකට එක් වෙමිනි.

වරාය ජාතික සේවක සංගමය සහ අර්ජුන රණතුංග අමාත්‍යතුමා අතර සුහද සාකච්ඡාව  අද (18) පෙරවරුවේ පැවැත්වුණේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි. වරාය ජාතික සේවක සංගමයේ නිලධාරී මණ්ඩලය සහ එහි මව් සංගමය නියෝජනය කරමින් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිල්නාල් ද මැල් මහතා සහ ජාතික සේවක සංගමයේ උපසභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මහතාද මෙම සුහද සාකච්ඡාවට එක් වූහ. පසුගිය කාලයේදී වරාය පරිශ්‍රයේ වූ සිදු වූ තත්ත්වය සමාලෝචනය කිරීමට මෙම හමුවේ අරමුණයි. සුහද හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සේවක සංගමයේ උපසභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මහතා පැවසුවේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සමඟ සුහදශීලිව කටයුතු කරන ලෙසට ගරු අග්‍රාමාත්‍යතුමාද සියලු දෙනාටම දැනුම් දී ඇති බවයි.  

“ජාතික සේවක සංගමය කියන්නේ මහත්වරුන්ගේ සංගමයක්. මේක රජවරුන් සමග ජීවත් වුණ සංගමයක්. ඒ නිසා අපි උඩට නැගලා කම්කරු අරගල කරනවට වඩා අපි සාකච්ඡා මේසයක වාඩිවෙලා කම්කරු ප්‍රශ්ණ විසඳගැනීම තමයි ජාතික සේවක සංගමයේ පළවෙනි උත්සාහය. ඒ පළවෙනි උත්සාහය, දෙවැනි උත්සාහය, තුන්වැනි උත්සාහය සහ දහවෙනි උත්සාහයත් බැරි වුණොත් තමයි  ජාතික සේවක සංගමය අරගල වලට යන්නේ.  ඒ නිසා අපි ජාතික සේවක සංගමය අද ඒ භාරධූර කාර්යය, ඒ භාරධූර වගකීම, වරාය ඉදිරියට ඔසවා තැබීමේ වගකීම අද ජාතික සේවක සංගමයේ ශාඛාව භාරගත්තා ඇමතිතුමාත් එක්ක සුහදව ඉදිරියට යාමට...” යනුවෙන්ද එම මාධ්‍ය හමුවේදී සුනිල් සිල්වා මහතා පැවසීය. එතුමා වැඩිදුරටත් කියා සිටියේ මින් ඉදිරියට ජාතික සේවක සංගමය නමින් පමණක් වරායේ වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි. ඉදිරියේදී පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නොව පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටින ලෙසද ඔහු වරාය ජාතික සේවක සංගමයේ නියෝජිතයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

“වරාය සමස්ත සේවකයන් වැඩිපිරිසකගේ සාමාජිකත්වය තියන ජාතික සේවක සංගමයේ සහයෝගය නිර්ලෝභීව වරාය ඇමතිතුමාට ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් අපි අග්‍රාමාත්‍යතුමා සමඟත් සාකච්ඡා කළා. එතුමාගේ ඉල්ලීම වුණෙත් අමාත්‍යවරයා සමඟ සුහදව වැඩකිරීමයි. එම ඉල්ලීම මතයි අද දින ගරු අමාත්‍යතුමන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූයේ. මෙම සාකච්ඡාවේදී 100% ප්‍රතිඵලය හොඳයි. එපමණක් නෙවෙයි වරාය සේවකයන්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයකටත් එතුමා පිළිතුරු ලබා දුන්නා. අවුරුදු 60 දක්වා සේවකයින්ට සේවය කිරීමේ නොහැකියාව එතුමන් දුරු කර දෙන බවට පොරොන්දු වුණා. ඒ නිසා ජාතික සේවක සංගමයට අද දින මෙම සාකච්ඡාවේදී ඇමතිතුමා සමඟ තිබෙන සුහදශීලීතාව වැඩිදියුණු කර ගත්තා පමණක් නෙවෙයි වරාය සේවකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරගැනීමටත් එතුමාගෙන් අපිට සහයෝගය ලැබුණා...” යැයිද ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් සිල්වා මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.