මාගම්පුර වරායේ සියලුම සේවකයින් හෙට පස්වරු 2ට පෙර සේවයට වාර්තා කළ යුතුයි - ඇමති අර්ජුන තීරණය පවසයි.

මාගම්පුර වරාය කළමනාකරණ සමාගමේ සියලුම සේවකයින් හෙට (2016.12.15) දින ප.ව. 2ට පෙර රාජකාරී සඳහා  වාර්තා කළ යුතු බව එම සමාගම සියලු සේවකයින්ට දන්වා සිටී. එසේ වාර්තා නොකරන සේවකයින් ස්වේච්ඡාවෙන්ම සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බවද එම සමාගම පවසයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේදී අද පැවැත්විණ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ ගරු අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ රජය ගත් තීරණයකට අනුව එම දැනුම් දීම සිදු කර ඇති බවයි.

“හම්බන්තොට වරායේ සියලුම සේවකයින් මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ සේවකයින්. පසුගිය දින කිහිපයේ එම වරායේ සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා මේ වන විට මූල්‍යමය වශයෙන් දැඩි හානියක් අපට සිදුව තිබෙනවා. නෞකා මෙහෙයුම්වලටත් දැඩි බාධා සිදු වුණා. ප්‍ර‍ධාන පරිපාලන ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කර සී. සී. ටී. වී. කැමරා පද්ධතියට හානි කර තිබෙනවා. ජල ටැංකියකට හානි සිදු කර තිබෙනවා. ඒ වගේම නෞකා මෙහෙයුම්වලට තවදුරටත් බාධා සිදු කරමින් සිටිනවා. ඊටත් වඩා දරුණුම දේ තමයි නෞකාවක් බහලත්කාරයෙන් රඳවා ගෙන සිටීම. එය මුහුදු කොල්ලකෑමක් ලෙසයි ජාත්‍යන්තර ප්‍රජාව දකින්නේ. මේ නිසා අද හම්බන්තොට වරාය අවධානම් වරායක් ලෙස ලෝක ප්‍ර‍ජාව හඳුනා ගනිමින් සිටිනවා. එය රටක් වශයෙන් හොඳ නැහැ. මේ නිසා හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජයක් ලෙස අපි තීරණය කළා. ඒ අනුව හෙට පස්වරු 2ට පෙර රාජකාරී සඳහා වාර්තා කරන ලෙසට එම පෞද්ගලික සමාගම සියලුම සේවකයින්ට දැනුම් දුන්නා. සේවයට වාර්තා නොකරන අය වෙනුවෙන් හම්බන්තොට මිරිජ්ජවිල ගමෙන්ම අලුතින් අය බඳවා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ සියලුදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා....” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන මැතිතුමා එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය