ලොව විශාලතම මොටර් රථ ප්‍ර‍වාහන නෞකාව හම්බන්තොට වරායට.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලොව විශාලතම මෝටර් රථ ප්‍ර‍වාහන නෞකාව අද (31)උදෑසන හම්බන්තොට වරායට සේන්දු විය. MV Hoegh Trigger නමින් හැඳින්වෙන මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණි පළමු අවස්ථාව මෙය යි. ඇමරිකා එක්සත් ජනපදය, මැද පෙරදිග හා ආසියාතික කලාපයේ සිය මෙහෙයුම් සිදුකරනු ලබන මෙම නෞකාව මගින් නව තාක්ෂණික ශිල්ප ක්‍ර‍ම භාවිත කරමින් ඉතා පහසුවෙන් මෙහෙයුම් සිදුකිරීමේ හැකියාවක් ද පවතී. ඒ අනුව මෙවර මෙම නෞකාවෙන් හම්බන්තොට වරායට ගොඩබාන වාහන ප්‍ර‍මාණය 628 (CEU) කි. MV Hoegh Trigger නෞකාවේ පළමු ආගමනය සනිටුහන් කරමින් නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන Eddie Caguimbaga සහ නියෝජ්‍ය හාබර් මාස්ටර් සමිද්දී ඩයස් මහතා අතර සමරු ඵලක හුවමාරුකිරීම එහිදී සිදුවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර‍ මහතා, විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා,  රජිත සේනානායක මහතා, සරත් පෙරේරා මහතා,  ඩයමන්ඩ් ෂිපින්ග් පුද්ගලික  සමාගමේ අධ්‍යක්ෂ දුෂාන්ත පීරිස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.

මෙම නෞකාව Hoegh Autoliners – AS සමාගම සතු වේ. ලොව පුරා වරායන් අතර ප්‍රතිඅපනයන මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙම සමාගම හම්බන්තොට වරාය ද ප්‍ර‍ධාන වරායක් ලෙස භාවිත කරයි. එහිදී මෙම සමාගම ඉන්දියානු උප මහද්වීපයෙන් අප රටට ආනයනය කරනු ලබන භාණ්ඩ සහ වාහන කොළඹ වරාය ඔස්සේ මෙහෙයුම් සිදු කරනු ඇත. මෙම නෞකාවෙහි දිග මීටර 200 ක් වන අතර  පළල මීටර 40.5 කි. මෙමගින් ප්‍ර‍වාහනය කළ හැකි සමස්ත වාහන ප්‍ර‍මාණය 8500 (CEU) කි. මහල් 14 කින් සමන්විත Hoegh Trigger නෞකාව Horizon Class/Design වර්ගයට අයත් වන්නකි. Hoegh Autoliners – AS සමාගම ලොව පුරා ප්‍ර‍වාහනය සහ සැපයුම් අංශ වලදී පුළුල් සේවාවක් සපයමින් ප්‍ර‍මුඛත්වයේ පසු වේ. එම සමාගම සතු මෝටර් රථ ප්‍ර‍වාහන නෞකා සංඛ්‍යාව 60 කට අධික වේ. එමගින් වසරකට  මිලියන 2 (CEU) කට ආසන්න ප්‍ර‍මාණයක් ප්‍ර‍වාහනය කෙරේ. එමෙන්ම මෙම සමාගම සතු නෞකා වසරකදී වරායන් 4000 කට පමණ යාත්‍රා කරනු ඇත. විවිධ වර්ගයේ භාණ්ඩ හැසිරවීමේ ප්‍ර‍වීණත්වයක් සහ ඉතා නම්‍යශීලී, කාර්යක්ෂම සේවාවන් සපයන නවීන නෞකා සමුදායක් මෙම සමාගම සතුවීම විශේෂත්වයකි.