මාත් එක්ක දුවන්න ඉගෙන ගන්න - ඇමැති අර්ජුන

මාත් එක්ක දුවන්න ඉගෙන ගන්න.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම වැඩභාර ගැනීමේ උත්සවයේදී ඇමති අර්ජුන කියයි.


ඉදිරි වසර පහේදී මේ රටේ ප්‍රධානතම ආයතනය බවට ශ්‍රී  ලංකා වරාය අධිකාරිය පත් කරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ගරු වරාය සහ නාවික නියෝජ්‍ය  අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැඩභාර ගැනීමේ උත්සවයට එක්වෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වරාය ක්ෂේත්‍රයෙහි ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා එහි සේවකයින්ගේ සුභසාධනයද ඉහළ නැංවිය යුතු බවයි.

ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිය ධූරයේ වැඩභාර ගැනීමේ උත්සවය අද (16) උදෑසන පැවැත්විණ. ඒ කොළඹ වරාය කොමිසම් ගොඩනැගිල්ලේ පිහිටි වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීය. එම උත්සවය අමතමින් නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසුවේ රට ගොඩනැඟීමේ අරමුණින් ජාතික ආණ්ඩුවට එක්වූ බවයි. “මගේ ඉලක්කය කොමිස් ගහන එක නෙමෙයි. දූෂණය කරන එක නෙමෙයි. වංචා කරන එක නෙමෙයි. හොරකම් කරන එක නෙමෙයි. මම ප්‍රියකරන ක්‍රීඩකයා අර්ජුන රණතුංග. මම ප්‍රියකරන ක්‍රීඩා නායකයා අර්ජුන රණතුංග. මම විශ්වාසයෙන් කියනවා වැඩි ඈතක නැතිව මේ රජයේ මම ප්‍රියකරන අමාත්‍යවරයාත් අර්ජුන රණතුංග බවට පත් වෙයි කියලා. මට පුළුවන් වුණොත් ගාල්ල වරාය දියුණු කරන්න, ශක්තිමත් කරන්න ඒක තමයි අපි ලබන ජයග්‍රහණය. මම ඒ තත්ත්වයට යනවා මිසක් මගේ ගාල්ලේ බද්දේගම ආසනයේ සිටින ජනතා ව ගෙනෙල්ලා වරාය පුරවලා, වරායට හානි කරලා යන කෙනෙක් නෙමෙයි මම....” යනුවෙන්ද නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය  අමාත්‍යතුමා පැවසීය. උත්සව සභාව අමතමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමාද පැවසුවේ ජනපති - අගමැති සුසංයෝගයේ ආශිර්වාදයෙන් වරායේ හොකරම් නතර කිරීමට හැකි වූ බවයි.

“මටත්  අවශ්‍ය හොරකම් කරන්නේ නැති අය. මටත් අවශ්‍ය කප්පම් ගන්නේ නැති අය. මටත් අවශ්‍ය  කොමිස් ගහන්නේ නැති අය. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය  අමාත්‍යතුමාට පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැහැ. එතුමා ආවේ වැඩ කරන්න. එතුමා ඇවිද්ද කාලේ ගියා. දැන් දුවන්න ඕන කාලේ ඇවිත්. මාත් එක්ක දුවන්න ඉගෙන ගන්න ඕන. මටත් ලේසි නැහැ දුවන්න. එතුමාටත් ලේසි නැතිවෙයි දුවන්න. නමුත් ඉදිරි අවුරුදු 5දී අපි දෙන්නා එකතුවෙලා මේ වරාය මේ රටේ ප්‍රධානතම ආයතනයක් බවට පත් කරනවා.....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියාසිටියේය. 

අද වැඩභාරගත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පිළිගනිමින් වරාය ගැන හඳුන්වා දුන්නේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතායි. කොළඹ වරාය දකුණු ආසියාවේ 27වැනි ස්ථානයට පත්ව ඇතැයිද එහිදී ජයම්පති මහතා අනාවරණය කළේය. වැඩභාර ගැනීමේ උත්සවයට අමාත්‍ය  ඩිලාන් පෙරේරා මහතා, දකුණු පළාත ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි විය.