වරාය සහ නාවික අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන 2020 වසර වනවිට එකම ස්ථානයක ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර ඇති බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අද(18) උදෑසන අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් පැවති සුහද හමුවකට එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ පසුගිය වසරේ අත්කරගත් ජයග්රහණයන්ට මෙම ආයතනයන්හි සේවය කරනු ලබන පුද්ගලයින්ගේ දස්කම් බෙහෙවින් ඉවහල් වූ බවයි. ක්‍රියාකාරී දක්ෂ සේවකයින් සමග ඉදිරියට යෑම තමාගේ ක්‍රමවේදය වන බවද එතුමා එහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පති මැතිතුමා, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ නාවික කපිතාන්වරු සහ ඉංජිනේරුවන්, කාර්ය මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් සහ ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලය ද එක් වූහ.
“ අධ්යක්ෂ ජනරාල්තුමා මට හැමදාම කියන දෙයක් තමයි අපිට හරි නවාතැනක් නැහැ කියන එක. වරාය අමාත්‍යාංශය සඳහා වෙනම කාර්යාලයක් හදන්න අද වනවිට අපි සැලසුම් සකස් කරලා තියෙනවා. 2020 වසර වනවිට වරාය අධිකාරිය, නැව් සංස්ථාව, වෙළඳ නාවික ලේකම් කාර්යාලය යන මේ ආයතන සියල්ලම එක වහලක් යටට ගෙන එන ක්‍රමවේදයක් හදන්න අපි සූදානම්. මේ කාර්යාලයේ පහසුකම් අඩු බව මම දන්නවා. නමුත් රජයේ මුදල් වියදම් කිරීමේදී මම දෙවරක් හිතනවා. ඒක මම මගේ පියාගෙන් ඉගෙනගත් දෙයක්. මම උත්සාහ ගන්නේ අවශ්‍යම විටදී පහසුකම් ලබාදෙන්නයි. අපිට පුළුවන් වුණා පසුගිය වසරේ වරාය අධිකාරියේ රුපියල් බිලියන දෙකකින් වියදම අඩු කරන්න. අපි අපේ නිලධාරීන්ට බලය ලබාදුන්නා. නිදහසේ තම වැඩ කටයුතු සිදුකරන්න අපි ඔවුන්ට අවස්ථාවක් ලබාදුන්නා. අපි හොරකම් අඩු කළා. ඒ හරහා අපිට වියදම බිලියන දෙකක් ඉතිරි කරන්න පුළුවන් වුණා. මෙය වරාය අධිකාරියේ පසුගිය වසර විස්ස තුළ සිදු නොවුණ දෙයක්. මේ හරහා අපිට වරාය අධිකාරියේ බිලියන 11ක ලාභයක් ලබන්න පුළුවන් වුණා.
මේ ආයතන වල සිදු කෙරන්නේ සේවාවක්. මේ රටේ මිනිස්සු හැතැක්ම ගාණක ඉඳලා මෙම ස්ථානයට එන්නේ යමක් කරගන්න. රජයේ සේවකයෝ විදියට එය සිදු කිරීම තමයි අපේ යුතුකම. ඒ එන පුද්ගලයා හිනාවෙලා අනෙක් පැත්තට යනවා නම් මම හිතන්නේ තමුන්නාන්සේලාගේ රාජකාරිය ගැන තමුන්නාන්සේලා සන්තෝස වෙන්න ඕන. නමුත් අද වනතුරු අපට කිසිම චෝදනාවක් ඇවිල්ලා නැහැ මේ කාර්යාලය ගැන. තමුන්නාන්සේලාගේ වැඩකටයුතු ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්නවා වෙනත් මුදලකට පෞද්ගලික අංශයට යන්න පුළුවන් අයත්. ඒ වගේම රට ගැන හිතන අය මෙතන ඉන්නවා. අපි ඔවුන්ව අමතක කරලා නෙවෙයි ඉන්නේ. මගේ ක්‍රමවේදය තමයි වැඩ කරන මනුස්සයාව බලාගැනීම. වැඩ කරන දක්ෂ පුද්ගලයින්ව අපි ඉදිරියට ගෙනියන්න ඕන. ඒ වගේම වැඩ නොකර ඉන්න අයට මාත් එක්ක ඉස්සරහට යන්න බැහැ. ඒක තමයි මගේ ක්‍රමවේදය. මම ඒක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබාගත් දෙයක්. අද වනවිට අපි අමාත්‍යාංශයේත් අනෙක් ආයතන කිහිපයේත් එය ක්‍රියාත්මක කරලා තියෙනවා. අද ඒක විශාල වශයෙන් හොඳ පැත්තට ගිහිල්ලා තියෙනවා.... ” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.