වරාය අධිකාරියේ නවක සේවකයින්ගෙන් මල්වතු, අස්ගිරි මහාවිහාර වෙත ශබ්ද කෝෂ 150 ක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නවක සේවක මහත්ම මහත්මීන් 106 ක කණ්ඩායම මහනුවර මල්වතු , අස්ගිරි මහාවිහාර වෙත ශබ්ද කෝෂ 150 බැගින් ප්‍රදානය කිරීම පසුගිය 08 වැනිදා සිදුවිය. එහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනායක හිමි සහ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව එම ශබ්දකෝෂ පිරිනැමුණේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ අමත්‍යතුමා,

“අපි ආණ්ඩුවක් හැදුවට පස්සේ රැකියාවන් ලබාදීපු පළවෙනි දරුවෝ කණ්ඩායම මගෙන් ඉල්ලා හිටියා මොනවා හරි කරන්න ඕන කියලා. ඒ අවස්ථාවේ මල්වතු, අස්ගිරි විහාර වලට ශබ්ද කෝෂ ලබාදීම මේ දරුවන්ට භාරදුන්නා. ඔවුන් තමන්ගේ පළමු වැටුපෙන් මුදල් මේ වෙනුවෙන් වෙන් කරලා ශබ්ද කෝෂ 150ක් මහනායක හාමුදුරුවන් දෙපළට විහාර දෙක වෙනුවෙන් ප්‍රදානය කළා. විශේෂයෙන් පොඩි හාමුදුරුවන්ට මෙය වටිනා අවස්ථාවක් වෙයි ඉගෙනගැනීමේදී. අනාගතයේදී ඉංග්‍රීසි භාෂාවේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. අපේ පොඩි හාමුදුරුවන්ට අපි හැකි විදියට අපේ ශක්තිය ලබාදෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව......” යැයිද අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවසීය.