ත්‍රිකුණාමල වරාය කඩිනමින් දියුණු කිරීම සඳහා වසර තුනක සංවර්ධන සැලැස්මක්

ශ්‍රී  ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ත්‍රිකුණාමල වරාය කඩිනමින් සංවර්ධනය කිරීම සදහා වසර තුනක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් කර ඇති බව පසුගියදා ත්‍රිකුණාමල වරායේ සංචාරයක නිරත වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.

ත්‍රිකුණාමල වරායට අයත් විය යුතු හෙක්ටයාර 10 000 ක් පමණ වන ඉඩම් හඳුනාගෙන ගැසට් කිරීමටත් එම ඉඩම් වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා උපයෝගී කරගැනීමටත්, දැනට මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන පර්යන්ත 04 ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම වාණිජ අවශ්‍යතා සඳහා දියුණු කරමින් රටේ ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මෙම සංවර්ධන සැලැස්මේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍යවරයා ත්‍රිකුණාමල වරායේ අෂ්රෆ් ජැටිය නිරීක්ෂණය කරන ආකාරයයි.  

මෙම අවස්ථාවට වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්, දිස්ත්‍රික් සංවිධායක නලින් ගුණවර්ධන, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් රැසක් සහභාගී විය.