අපේ රට බහළුම් මෙහෙයවන මධ්‍යස්ථානයක් කරනවා.

ශ්‍රී ලංකාව, ආසියා කලාපයේ බහළුම් මෙහෙයවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අවධාරණය කරයි. ඒ සදහා කොළඹ වරායේ යටිතල පහසුකම් තවදුරටත් දියුණු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ මේ දක්වා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම බහළුම් නෞකාව පිළිගැනීමේ උත්සවයට සහභාගි වෙමිනි. සිට අද උදෑසන පැමිණි එම නෞකාව Marco Polo නම් වේ. නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ අද (25) උදෑසන 07.30ටයි. නෞකාව පිළිගැනීමේ උත්සවය එහි ප්‍රධාන මෙහෙයුම් මැදිරියේදී පැවැත්විණ.

මීට පෙර ශ්‍රීලංකාවට පැමිණි විශාලතම බහළුම් නෞකාව වූයේ Edith Maersk නෞකාවයි. එම නෞකාවේ ගබඩා කළ හැකි බහළුම් සංඛ්‍යාව 15550 කි. කෙසේවෙතත් අද පැමිණි  Marco Polo නෞකාවේ එකවර බහළුම් 16 020ක් ගබඩා කළ හැකිය. එංගලන්ත ධජය යටතේ යාත්‍රා කරන එම නෞකාව 2012 වසරේ ලොව විශාලතම නෞකාව  වීමද විශේෂත්වයකි.මීටර් 396ක දිගින් යුත් Marco Polo නෞකාව පළමුවරට දියත් කළේ2012නොවැම්බර් 07 වැනිදායි. නෞකාවේ ගබඩා කළ හැකි බහළුම් ගණන 16020කි. එහි උස ප්‍රමාණය මීටර් 29.9ක් වේ.  අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති නෞකාව පිළිගැනීමේ උත්සවයට අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති ඇතළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාග වී සිටියහ. උත්සවයේදී  Marco Polo නෞකාවේ කැප්ටන් Zlatkosisa මහතා සැමරුම් තිළිණයක්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාට පිළිගැන්වීය. උත්සවයෙන් පසුව විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසුවේ ඉදිරියේදී වරාය ආශ්‍රිත සිදුකෙරන ආයෝජනවලදී සියයට 51ක අයිතිය ශ්‍රී ලංකාව ලබා ගන්නා බවයි.

“චීනයේ සිට යුරෝපය දක්වා වූ මුහුදු ගමන් මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් කොළඹ. මේ නිසා අපි බලාපොරොත්තු වනවා අපේ රටේ සමස්ත වරාය පද්ධතියම බහළුම් මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. දැනට හම්බන්තොට වරායේදී අපි සිදු කරන්නේ වාහන ප්‍රතිඅපනය පමණයි. පසුගිය කාලේ රටේ තිබුණු ප්‍රශ්න නිසා අයෝජකයින් ලංකාවට පැමිණීමට කැමති වූයේ නැහැ. නමුත් අද ඒ සියල්ල වෙනස් වෙලා. පසුගිය මාස හයේදී අපිට අපේ වරාය ක්ෂේත්‍රය විශාල දියුණුවක් අත්කර ගෙන සිටිනවා. එය අපි ලබා ගත් විශාල ජයග්‍රහණයක්. දැන් අපි ශ්‍රී ලංකා වරාය අධිකාරිය දියුණු කිරීමටත් අවධානය යොමු කළ යුතුයි. අපේ නැගෙනහිර පර්යන්තයේ වැඩ අවසන් වුණාම අපිට විශාල ආදායමක් ලබාගන්න පුළුවන් වේවි..... යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය. අනතුරුව  අර්ජුන රණතුංග අමාත්‍යතුමා  Marco Polo නෞකාවේ නිරීක්ෂණයකටද එක් විය. Marco Polo නෞකාව අද රාත්‍රියේදී පිටත්ව යාමට නියමිතයි. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ Marco Polo නෞකාවේ කැප්ටන් Zlatkosisa මහතා, එම නෞකාවේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ කැප්ටන් අසුන්හි වාඩි වී සුහද පිළිසඳරක යෙදෙන අවස්ථාවේදී ගත් ඡායාරූපයක්ද මේ සමග එවමි.