සැබෑ නිදහස වෙනුවෙන් ප්රතිසංස්කරණ ක්රියාත්මක කරමු - නිදහස් දින පණිවිඩයෙන් ඇමැති අර්ජුන පවසයි.

“එදා අපේ මුතුන් මිත්තන් කළ පරිත්‍යාග සහ කැපකිරීම් මත අපි අද නිදහස භුක්ති විඳින්නෙමු. ඒ හා සමානව අප කරන පරිත්‍යාග සහ කැපකිරීම් මත අපේ දරුවන්ද අනාගතයේදී සැබෑ නිදහස භුක්ති විඳිනු ඇත.....” යි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසුවේ හෙටට යෙදී තියෙන 68වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.

“යහපාලනය පදනම් කරගත් සම්මුති ආණ්ඩුව පිහිටු වීමෙන් පසුව අප සමරන පළමු නිදස් දිනය හෙටට යෙදී තිබේ. අපගේ අනාගත දරුවන්ගේ යහපැවැත්ම අරමුණු කර ගනිමින් එම දිනය සැමරිය යුතු බව මගේ අවංක හැඟීමයි.

නිදහසින් පසුව අප අපේක්ෂා කරන නූතන ශ්‍රී ලංකාව බිහි කිරීම උදෙසා ඉතිහාසයේ අවස්ථා කිහිපයක්ම අපට උදා විය. එයින් අනගිතම අවස්ථාව වූයේ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් කිරීමෙන් පසුව නිර්මාණය වූ සාමාකාමී යුගයයි. එහෙත් අවාසනාවන්ත ලෙස නූතන ශ්‍රී ලංකාව බිහි කිරීම සඳහා ඇවැසි සමාජීය, ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ දියත් කිරීමට පසුගිය රජය අසමත් විය. අද අප මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේද වසර කිහිපයකින් පසුපසට ගිය එකී සමාජීය, ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ නව ජවයකින් ක්‍රියාත්මක කිරීම වේ. ඒ සඳහා වූ මූලික ප්‍රයන්තය ජනපති - අගමැති සම්මුති ආණ්ඩුව මේ වන විටත් දියත් කර ඇත.

නූතන ශ්‍රී ලංකාවක් බිහි කිරීම අප සිතන තරම් පහසු කරුණක් නොවේ. නිදහස ලබා වසර 68ක් ගෙවී ගිය මුත් තවමත් පසුගාමී අදහස් දරන්නන් අප අතරද සිටී. වඩාත් භයානකතම කරුණ වන්නේ දේශපාලන වාසි අපේක්ෂාවෙන් වර්ගවාදය, ආගම්වාදය සහ ජාතිවාදය අවුස්සන ඇතැම් කණ්ඩායම් අත්‍යවශ්‍ය සමාජීය, ආර්ථික, සහ දේශපාලනික ප්‍රතිසංස්කරණවලට බාධා කරමින් සිටීමයි. අපට මෙතෙක් ළඟා කර ගත නොහැකි වූ සැබෑ නිදහස උදා කර ගැනීමට නම් එම බාධා කිරීම් මුලින් උපුටා දැමීම අත්‍යවශ්‍ය කරුණකි. සමාජ, ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මූලික කොන්දේසියක් වූ දේශපාලනික සංහිදියාව අද උපරිමයෙන්ම දක්නට ලැබීම එය තවත් පහසු කර තිබේ.

සැබෑ ලෙසම අප සිතිය යුත්තේ අප ගැන නොවේ. අපේ දරුවන් ගැනයි. අපේ දරුවන්ගේ අනාගතය පැහැබර වීමට නම් සමාජය ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ අදම ක්‍රියාත්මක කළ යුතුය. එදා අපේ මුතුන් මිත්තන් කළ පරිත්‍යාග සහ කැපකිරීම් මත අපි අද නිදහස භුක්ති විඳින්නෙමු. ඒ හා සමානව අප කරන පරිත්‍යාග සහ කැපකිරීම් මත අපේ දරුවන්ද අනාගතයේදී සැබෑ නිදහස භුක්ති විඳිනු ඇත.....” යනුවෙන්ද එම පණිවිඩයේ දැක්වේ.