ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍යතුමන්ට  නව වගකීම් පැවරේ.

ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාට වරාය සහ නාවික අමාත්‍යාංශයේ නව වගකීම් අද (06) පැවරුණි. ඒ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග ඇතුළුව නිලධාරීන් රැසක්ද එම අවස්ථාවට සහභාගී වූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ 05 වැනි අනුව්‍යවස්ථාවේ සහ 45 වැනි ව්‍යවස්ථාවේ 02 වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන හා අමාත්‍ය මණ්ඩලයේ තීරණයන්හිදී අමාත්‍යවරයෙකුගේ ඇතැම් කර්තව්‍යන් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පවරාදීමේ අවශ්‍යතාවය අවධාරණය කරඇත. ඊට අනුකූලව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා තමාගේ අධීක්ෂණය, මගපෙන්වීම සහ අනුමැතිය යටතේ ඉදිරි ව්‍යාපෘතින් සහ සංවර්ධන කටයුතු සදහා ක්‍රියා කිරීමට අවශ්‍ය බලය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාට අද භාර දෙන ලදී. එහි ප්‍රධාන වගකීම වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගාල්ල වරාය අධීක්ෂණය කිරීම සහ එහි ව්‍යාපෘති සම්පාදනය කිරීමයි. ගාල්ල වරායේ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගාල්ල  වරායෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීම, ඒ සදහා යෝජනා කැඳවීම සහ සේවා සැපයීමේ වියදම් කලමනාකරණය සහ මඟපෙන්වීමද ඊට අයත් වේ. එමෙන්ම ගාල්ල වරාය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වගකීමත් නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යතුමාට අද භාර දුණි.