ආපදා අවස්ථාවේදී රණවිරුවන් කටයුතු කළ අන්දම අනුව ඔවුන්ට ජාතියේ ප්‍ර‍ශංසාව හිමිවෙනවා ඇමති මහින්ද සමරසිංහ කියයි

රණවිරුවන් මේ ආපදා අවස්ථෘවේ ඉදිරිපත් වී කටයුතු කළ අන්දම පිළිබඳව රජය ණයගැති බවත් ජාතියේ ප්‍ර‍ශංසාව ඔවුන්ට හිමිවිය යුතු බවත් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඔවුන් එසේ ඉදිරිපත් වී කටයුතු කළ නිසා රජයට කලට වෙලාවට සහන සැලසීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.

එහිදී ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරයට ගැනද ස්තූතිවන්ත වන බව හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පසුගියදා සිදුවූ ආපදා වලින් මරණයට පත් සියලු දෙනා වෙනුවෙන් විනාඩියක නිහඞතාවක් පැවැත්වීමෙන් පසු මාධ්‍ය හමුව ආරම්භයේදීම තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳව අමාත්‍යවරයා මෙසේ  ද කීය.

ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා ආරාධනය එව්වේ එරට රාජ්‍ය නායකයා වන අග්‍රාණ්ඩුකාරයා විසිනුයි. ආරාධනය එවා තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වෙතටයි. මෙය අගමැතිවරයාට එවා තිබූ ආරාධනාවක් බව සති අන්ත පුවත්පතක සඳහන් කර තිබුණා. ඒ නිසා මම අද උදේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාට කතා කර මේ ගැන ඇහුවා. ඔහු තහවුරු කළා මේ ආරාධනය රාජ්‍ය නායකයාට ආ ආරාධනාවක් බව.

පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායිකාව බ්‍රිතාන්‍ය මහ රැජිනයි. ඇයගේ නියෝජිතයා අග්‍රාණ්ඩුකාරයායි. එතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනිමින්, හමුදා උත්තමාචාර පවත්වා දිවා භෝජන සංග්‍ර‍යක්ද  එහිදී පැවැත්වුවා. එය උසස් මට්ටමේ පිළීගැනීමක් ලෙස පෙන්වා දිය හැකියි.

මීට පෙර ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා එහි ගොස් තිබුණත් ඒ රාජ්‍ය නායක ඇරයුමකින් නොවේ. ඔස්ට්‍රේලියාව සමග අවුරුදු 70 ක සබඳතා තුළ පළමුවරටයි  මේ  රාජ්‍ය නායකයෙකු නිල ඇරයුමක් මත එහි ගියේ. එයින් වත්මන් ජානාධිපතිවරයාගේ පාලනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති බව පැහැදිලියි. ජනාධිපතිතුමා එහිදී එරට අගමැති හා විදේශ ඇමතිත් හමුවුණා.

ශ්‍රී ලංකාවේ වකුගඩු පර්යේෂණය ගැන සහය පළ කරන්නත්, න්‍යෂ්ඨික විද්‍යා තාක්ෂණ ආයතනය මගින් පිළිකා නිවාරණ  පර්යේෂණ සඳහා සහය පළකරන්නත් එකඟ වුණා. ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් එහි ඉන්නවා. ඔහුත් ලංකාවට ඇවිත් පරීක්ෂණ මෙහෙයවන්න සූදානම්.

නැව් වලට පටවලා සංවිධානාත්මකව ඕස්ට්‍රේලියාවට හොරෙන් ශ්‍රී ලාංකිකයන් ගෙනයාම නතරකිරීමේ වැඩ පිළිවෙළක් ගැන එහිදී කතා කළා. ඒ වගේම අපට නැව් දෙකක්ද ලැබුණා. ඒ සඳහා දෙරට අතර අත්සන් කළා.

අපේ ඛනිජ සම්පත් තවම හරියට තක්සේරු වෙලා නෑ. මතුපිට තියෙන ඒවා පමණයි දන්නේ. ඒ නිසා අගය එකතු කර විදේශ ගත කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමට එරට රජය සමග එකඟතා ඇතිවුණා.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ අපේ ආරක්ෂක අමාත්‍යංශ අතර ගනුදෙනු තියෙනවා. මෙවර ජනාධිපතිතුමා එරට රජයෙන් ඉල්ලීමක් කළා අපේ නාවික හමුදාවේ උසස් නිලධාරීන්ට පුහුණුව ලබාදෙන්න කියලා. එයට සුභවාදී ප්‍ර‍තිචාරයක් ලැබුණා. එතුමා රාජ්‍ය නායකයා ලෙස පමණක් නොව ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් සේනාධිනායකයා ලෙසත් එහිදී කටයුතු කළා.

මීට පෙර මම කටයුතු කළ අමාත්‍යංශයේදී අපට එරටින් සියයට සීයක ආධාරයක් ලෙස ව්‍යපෘතියක් දුන්නා. එයත් සිහිපත් කළ යුතුයි.

ජනාධිපතිතුමා ආපසු ආවේ පාන්දර දෙකයි තිහට, තුනට  විතර. ඒ ආ ගමන්ම කළේ සිදුවී ඇති ආපදා ගැන සෙවීමයි. එතුමා කලුතර කච්චේරියේ පැවති රැස්වීමට ගියේ වෙහෙස ගැන බලන්නේ නැතිවයි.

එම සාකච්ඡාව කලුතර වෙනුවෙන් විතරක් නෙවෙයි කළේ. ආපදාවට පත් සියලු ප්‍රදේශ වෙනුවෙන්. එහිදී ජනාධිපතිතුමා කලුතර දිසාපතිවරයාට වජිර අබේවර්ධන ඇමතිවරයාට කිව්වේ චක්‍රලේඛ පැත්තකින් තියලා ජනතාවට අවශ්‍ය දේ ලබාදෙන්න කියලා. පොලිසියට, ත්‍රිවිධ හමුදාවට ඒ ගැන උපදෙස් දුන්නා.

මේ ආපදා අවස්ථාවේ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා කටයුතු ආකාරය පැසසිය යුතුයි. ඔවුන් ලොකු කැපකිරීමකින් කටයුතු කරනවා. එක් ගුවන් නිලධාරියෙකුගේ ජීවිතය පවා අහිමි වුණා. අපි රණවිරුවන්ට ණයගැතියි. ඔවුන් නිසයි අපිට වෙලාවට සහන සලසන්න ලැබුණේ.  ඒවගේම දිස්ත්‍රික් පහේම දිසාපතිවරු දිවා රෑ නොබලා කටයුතු කළා. අද වනතුරු එහෙමයි. මාධ්‍ය පවා ඉතා කැපවීමෙන් කටයුතු කළ බව කිව යුතුයි.

එක් අයෙක් වෙනුවෙන් අහාර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් 230 සිට 300 දක්වා වැඩි කරන ලෙස ජනාධිපති උපදෙස් දුන්නා. මේ වනවිට මිලියන 2000 ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම ජනතා නියෝජිතයින්ට තම ප්‍රදේශ  වලට ගොස් ජනාතාවට සහන සලසන්න කියා ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු මසක වැටුප ආපදා සහන අරමුදල සදහා ලබාදීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා.

“ වරාය හා නාවික ඇමති ලෙස වැඩ භාරගත් අවස්ථාවේ සිට මම අභියෝග වලට මුහුණදෙන එකයි කළේ. ප්‍ර‍ධාන අභියෝගය හම්බන්තොට වරාය ගිවිසුමයි. පළමුවැනි දේ විෂය භාර ඇමති ලෙස සාකච්ඡා සියල්ල මා අතට ගත්තා. මේ සිකුරාදා අදාළ නිලධාරීන් හමුවී ගිවිසුම් සකසා අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.

හම්බන්තොට වරාය ඉදිකරන්න විශාල ණයක් අරන් තියෙනවා. රජයක් ලෙස මේ ණය ගෙවිය යුතුයි. ඇමරිකානු ඩොලර් මිලියන 220ක් ගෙවලා තියෙනවා. රුපියල්  මිලියන 4000 ක් ගෙවිමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුවෙලා තියෙනවා.

සූරිය වැව ක්‍රීඩා පිටිය හදන්නත් චයිනා හාබර් සමාගමෙන් වරාය අධිකාරිය ණය අරන් තියෙනවා. චයිනා හාබර් කෝපරේෂන් මේ වනවිට නඩු කියන්නත් ගිහින් තියෙනවා. මේ ණය මුදල ගෙව්වේ නැහ කියලා. මෙහිදී ඇත්තටම එම සමාගම සමග හරියට ගිවිසුම් ඇත්තෙත් නැහැ. ණය ගෙවීමේ අභියෝගය පවතිනවා.

රජයක් ලෙස වරාය හදලා පෙන්නුවට ණය ගෙවීම භාරදුන්නේ අපට.  2018 වනවිට තව ණය බර බැඩි වෙනවා. මේ ණය බර එන්න එන්න වැඩිවෙනවා.

අගමැතිතුමා මේ ගැන චීන ජනාධිපතිතුමා සමග සකච්ඡා කළා. දිගුකාලීන මිතුදමක් ඇති රටක් නිසා මේ ගැන සොයා බලන්න කියා සිටියා. චීන ජනාධිපතිවරයා මේ ගැන සොයාබලා අප සමග ඇති මිත්‍ර‍ත්වය මත  චීන ආයෝජකයෙක්  ගෙන්වා  වරාය වෙනුවෙන් ආයෝජනය කරන්න කටයුතු කර තිබෙනවා.

හාබර් මාස්ටර් වැනි තනතුරු අහිමි වෙන්නේ නැහැ. නියාමන කටයුතු කරනවා.  රේගු කටයුතු ඉවත් වෙන්නේත් නැහැ. රටේ නීති පද්ධතියට අනුගතයි. මේ වගේ ලොකු ආයෝජන එද්දී වෙනත් රටවලින් ලොකු ආයෝජනයන් ඒවි.

පැරණි ගිවිසුම් සංශෝදනය වෙලා අලුත් ගිවිසුම ගැන අපි මාධ්‍ය හමුවක් තියලා දැනුවත් කරනවා. මේ මුදල් අපිට අවශ්‍යයයි. අගමැතිතුමා ගිහින් ලබාගත් ලොකු ජයග්‍ර‍ණයක් මේ ආයෝජකයා සොගෙන ආපුඑක. ඔවුන්ගේ කොටස් සියයට 80 නම් ඒ කියන්නේ බිලියන 1.4 න් සියයට 80 ක් කියන්නේ බිලියන 1.12 ක්. එතකොට ණය සම්පූර්ණයෙන්ම ගෙවා දමලා ඉතිරි මුදලෙන් විදේශ සංචිත ශක්තිමත් කළ හැකියි.

කලින් ගිවිසුමේදී සියයට හතලිහ දක්වා අපේ කොටස එන්න අපි කරන්න ඕන. අපිට මුදල් ප්‍ර‍ශ්න තියෙද්දී කොහෙමද අයෝජනය කරන්නේ ? මේක මගේ නොවෙයි රජයේ තීරණය වෙනවා. රජයේ ස්ථාවරය යනු ජාතික අවශ්‍යතාවයයි. ගිවිසුම කිබිනට් එකට එනවා. ඊට කැබිනට් අනුමැතිය ලැබේවි. අනතුරුවයි ගිවිසුම අත්සන් කරන්නේ. ”