"ලෝකයේ කොතැනක බිහිවුණත් දරුවන් සියලු දෙනාම අපිට එක වගේ ... " -  වැඩබලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

 

“ලෝකයේ කොතැනක බිහිවුණත් දරුවන් සියලු දෙනාම අපිට එක වගේ. එය සංකේතවත් කරමින් අපිට අද ලෝක ළමා දිනය සැමරීමට හැකි වී තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලාංකා ජාතිය බෙදී වෙන්වී නැතැයි සනිටුහන් කරන හොඳම මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය හඳුන්වා දෙන්න පුළුවන්. එය තමයි අපිට අපේ රටට දිය හැකි හොඳම ආදර්ශය....” යැයි වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ලෝක ළමා දින වරාය සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි. එම සැමරුම් උත්සවය කොළඹ වරායේ මගී පර්යන්තයේදී අද (01) උදෑසන පැවැත්විණ.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෝක ළමා දිනය සැමරූ පළමු අවස්ථාව මෙයයි. අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව “වරායේ අභිමානය දරුවන්ටත්” යන තේමාව යටතේ එම සැමරුම් උළෙල සංවිධානය කෙරිණ.       ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවික සේවිකාවන්ගේ දරුවන් දහසකට අධික පිරිසක් ඊට සහභාගි විය. එහි විශේෂත්වය වූයේ යාපනයේ ආරාධිත දරු දැරියන් 60දෙනකුද මෙම සැමරුම් උත්සවයට එක් වීමයි. සැමරුම් උත්සවයට එක් වූ සියලු දරු දැරියන්ට තිළිණ ප්‍රදානය කරමින් වැඩබලන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැඩි දුරටත් කියා සිටියේ ළමයින් අතර වූ සමඟිය ජාතිවාදය දිය හැකි හොඳම උත්තරය වන බවයි.

 

“තිස්වසරක යුද්ධය අවසන් වී වසර හයක් ගතවන මොහොතේදී අපි ලෝක ළමා දිනය සමරන්නේ ඉමහත් අභිමානයකින්. අද මේ සැමරුම දෙමළ අන්තවාදීන්ට හොඳ උත්තරයක්. සිංහල අන්තවාදීන්ටත් හොඳ උත්තරයක්. මේ දරුවන් ජාතිවාදීව බෙදී කටයුතු කරන්න එපා. එය තමයි මේ ලෝක ළමා දිනය සමරන මොහොතේ මම අපේ දරුවන්ට දෙන පණිවිඩය. ඒ වගේම අනාගතයේදී ලෝකයේ ලොකුම වරාය ගොඬ නඟන්න මේ ළමයි සියලු දෙනාම අත්වැල් බැද ගත යුතුයි....” යැයිද නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසීය. සැමරුම් උත්සවයට එක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මැතිතුමාද කියා සිටියේ,

 

“මේ පුංචි දරුවෝ තමයි අනාගතයේදී මේ රටේ වගකීම් දරන පුරවැසියන් බවට පත්වන්නේ. ඒ සඳහා අපි අපේ දරුවන්ට සමාජ වගකීම් පිළිබඳ අවබෝධය ලබා දිය යුතුයි. සංස්කෘතික වටිනාකම් පිළිබඳ අවබෝධය ලබා දිය යුතුයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෝක ළමා දිනය අද සමරන්නේ මේ වගකීම ඉටු කිරීමේ අරමුණින්. ඔක්තෝම්බර් මාසයේදී  මා ඇතුළු නව කළමනාකාරිත්වය වැඩ භාර ගත්දා සිට මේ දක්වා එම වගකීම ඉටු කරමින් විවිධ වැඩසටහන් මේ වරාය පරිශ්‍රයේ ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වරායේ අභිමානය අපි අපේ දරුවන් වෙනුවෙන් ඉතිරි කළ යුතුයි. තමන්ගේ දෙමාපියන් මේ රටේ ආර්ථිකයට දක්වන විශාල දායකත්වයද මේ දරුවන්ට අවබෝධ කළ යුතුයි. එවිට මේ දරුවන් මේ වරාය රැක ගන්න අනාගතයේදී පෙළ ගැසේවි. දියුණු කරන්න පෙළ ගැසේවි....” යනුවෙනි.

 

  අද පැවැති ලෝක ළමා දින වරාය සැමරුමට විවිධ විචිත්‍රාංගද ඇතුළත් විය. ළමා නාට්‍ය, සාරධර්ම වැඩමුළු මෙන්ම ලෝකයේ පැරණිතම සමුද්‍රීය කෞතුකාගාරය වූ කොළඹ වරාය කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව සහ ශ්‍රී ලංකා නාවිකහමුදාවට අයත් සයුර නෞකාවේ නිරීක්ෂණ චාරිකාව ඒ අතරින් කැපී පෙනුණි. .