ශ්‍රී ලංකාවේ පළමුවරට “මුහුදේදී ජීවිත ආරක්ෂාව (SOLAS)” පිළිබඳ සම්මුතිය ක්‍රියාවට නැංවේ.

 “මුහුදේදී ජීවිත ආරක්ෂාව (SOLAS)” පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාවේදී පළමුවරට ක්‍රියාවට නංවා තිබේ. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මගපෙන්වීම යටතේ නාවික ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වේ. ජූලි මස පළමුවැනිදා සිට මෙම සම්මුතිය ක්‍රියාවට නංවන බවද වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පවසයි.

“ශ්‍රී ලංකාව අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ සාමාජිකයෙක්. එමෙන්ම ජාත්‍යන්තර නාවික ගමනාගමනය සම්බන්ධව සම්මුති තියෙනවා. එම සම්මුති අනුව ක්‍රියාත්මක වන්න අපි බැඳිලා ඉන්නවා. ඒ යටතේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්මුතිය ලෙස අපි අලුතින් නීතියක් හඳුන්වා දී තිබෙනවා. එය ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. නමුත් එය නිල වශයෙන් ක්‍රියාත්මක වන්නේ  ඔක්තෝම්බර් පළමුවැනිදා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙනවිට අපනයනය කරන හැම බහලුමකම බර ප්‍රමාණය පිළිබඳ සහතිකයක්ද අවශ්‍යවනවා. ඒ යටතේ අපි ක්‍රමවේදයක් සකස් කළා...” යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය විසින් 1974 වර්ෂයේදී ජාත්‍යන්තර වෙළෙඳ නාවික කටයුතු වලදී පිළිපැදිය යුතු පොදු නීති රීති හා රෙගුලාසි හඳුන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ (IMO) ශ්‍රී ලංකාවේ ‍කේන්ද්‍රස්ථානය වශයෙන්  කටයුතු  කරනුයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයයි.

වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් ලෙස වෙළඳ නාවික ලේකම් කාර්යාලය පවත්වාගෙන යයි. සියලුම සමුද්‍රීය වෙළඳ නාවික කටයුතු නියාමනය, ආදාළ නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම මෙම ආයතනයෙන් සිදුවේ. “මුහුදේදී ජීවිත ආරක්ෂාව(SOLAS)” පිළිබඳ සම්මුතිය ක්‍රියාවට නැංවීම අරම්භ කරනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. බහළු නෞකා වල ආරක්ෂාව වැඩිකිරීම, නෞකා වල ස්ථායීතාව සහ සමබරතාවය පවත්වා ගැනීම, බහළු විධිමත්ව ගබඩා කිරීම සහ පාරිසරික බලපෑම් අවම කිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින් මෙම සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවේ. එහි සහතිකපත් නිකුත් කිරීමට අවශ්‍ය මගපෙන්වීමේ උපදෙස් සහ ක්‍රියාපටිපාටි වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත්කර ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.