දූෂිත සංස්කෘතිය වෙනස් කිරීමේදී ජනප්රිය තීරණගැනීමේ හැකියාවක් නෑ.

 

වසර 10 ක් පැවති දූෂිත සංස්කෘතිය වෙනස් කිරීමේදී ජනප්‍රිය තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. දූෂිත සංස්කෘතියක් වෙනස් කරන පුද්ගලයා සමාජයක ජනප්‍රිය නොවන බවද එතුමා පෙන්වා දුන්නේය. එය දේශපාලඥයන්ටද බලපාන පොදු කරුණක් බව අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට එක්වෙමින් අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් පෙන්වාදුන්නේ, එය වෙනස් කිරීමේදී රටට හිතැති එහෙත් ජනප්‍රිය නොවන තීරණ වලට එළඹීමට සිදුවන බවයි.

“ අද නැව්ගත කරන්නන්ගේ සංගමය වසර 50 ක් සම්පූර්ණ කරනවා. වසර 50ක් කියන්නේ ඉතා දිගු කාලයක්. ඉතා තරඟකාරී තත්ත්වයක වසර 50ක් එම සංගමය කළ සේවාව මම අගය කරනවා. ඔවුන් අපේ නාවික කෙෂ්ත්‍රයේ වර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. අද නාවික සහ වරාය කෙෂ්ත්‍රය අතිශය සංකීර්ණ විෂයක්.  අපිට පසුගිය කාලයේදී දැඩි තීරණවලට එළඹීමට සිදුවුණා. නව වෙළඳපොළ  දිනාගැනීමට සිදුවුණා. එය සරල කටයුත්තක් නොවේ. පසුගිය වසර 10 දී පැවතියේ වෙනනම සංස්කෘතියක්. මේ නිසා වෙනස්කම් කිරීමේදී අපිට ජනප්‍රිය තීරණගැනීමේ හැකියාවක් නෑ. කර්මාන්තයේදී පමණක් නෙවෙයි රටේදීද  වෙනස්කම් කිරීමේදී එම පුද්ගලයා ජනප්‍රිය වෙන්නේ නෑ. එය සියලු දේශපාලඥයන්ටත් පොදුයි...” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

ශ්‍රී  ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරය අද පැවැත්වූයේ හම්බන්තොට වරාය පරිශ්‍රයේදීය. ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයේ නව ලාංඡනය එළිදැක්වීම හා හම්බන්තොට වරාය පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනත් ඊට ඇතුළත් විය. අද සිදුවූ විශේෂිත සිදුවීම වූයේ ශ්‍රී ලංකාවේ වරාය හා සමුද්‍රිය  විෂය ඉලක්ක කර www.maritimeinsrilanka.com නමින් නව පුවත් වෙබ් අඩවියක් විවෘත කිරීමයි. එය මෙරට වරාය, නාවික සහ සමුද්‍රිය විෂය කෙෂ්ත්‍රයේ  එකම පුවත්පත් වෙබ් අඩවිය බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයේ සභාපති  ෂෝන් වැං ඩොට්  මහතා පැවසීය.  එතුමා කියාසිටියේ මෙම වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකා වරාය සහ සමුද්‍රිය තොරතුරු ජාත්‍යන්තරය වෙත ලබාදීමේ හැකියාව උදාවන බවයි. ජාත්‍යන්තර වෙළඳපොළ දිනාගැනීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමේ වැදැගත්කමද ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයේ සභාපති ෂෝන් වැං ඩොට් මහතා පෙන්වා දුන්නේය.

වෙළඳ හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමය ස්ථාපිත කළේ 1966 වර්ෂයේදීය. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ පළමුවැනි නාවික සංවිධානය ලෙසින්ද සැලකේ. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙළඳ කෙෂ්ත්‍රයේ සමබරතාවය ඇති කිරීමේ අරමුණින් නාවික සමුළු මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමේ හැකියාවද මෙම සංගමයට හිමි වේ. මෙරට ප්‍රධානම වෙළඳ භාණ්ඩ වූ තෙල් හා තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය හා අපනයනය සිදුවන්නේද මෙම නැව්ගත කරන්නන්ගේ සංගමයේ සාමාජිකයින් වේ. මේ වසරේ ලෝක නාවික සමුළුවට සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාවද ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයට හිමිවීම විශේෂත්වයකි. එය එම සමුළුව ආසියාවේ පවත්වන පළමු අවස්ථාවද වේ. ලෝක නාවික වෙළඳ විෂයෙහි ප්‍රමුඛතම සමුළුවක් ලෙසද ලෝක නාවික සමුළුව සලකයි.