වරාය සේවකයින්ට තෘප්තිමත් ජීවිතයක් ඇති කිරීම අපේ අරමුණයි - වරාය සභාපති දම්මික රණතුංග.

වරාය සේවකයින්ට සිය රැකියාව පිළිබඳ අභිමානයක් ඇති කිරීම නව පරිපාලනයේ මූලික අරමුණක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී එම උත්සවය අද උදෑසන පැවැත්විණ. එහිදී අදහස් දක්වමින් වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ සෑම සේවකයෙකු තුළම වරාය පිළිබඳවද ගෞරවයක් ඇති විය යුතු බවයි.

“වරායට අවශ්‍ය දක්ෂ පුද්ගලයින්. ඒ වගේම එම සේවකයින් දක්ෂතා අනුව සුදුසු කාර්යන් සඳහාත් යොමු කළ යුතුයි. ඒක තමයි ආයතනයක දියුණුවේ රහස. ඒ සාර්ථකත්වය උදා කර ගැනීම සඳහා මේ වනවිට අපි වරාය අධිකාරියේ පරිපාලනයෙහි යම් යම් වෙනස්කම් කරමින් සිටිනවා. හොඳින් වැඩකරන, රාජකාරිය හඳුනන සේවකයින් අදාළ ස්ථාන වෙත යොමු කිරීමෙන් දියුණුවක් ලබා තියෙනවා. අලුතින් බඳවාගත් සේවකයින්ටත් මෙහිදී මම පණිවිඩයක් දෙනවා. ආයතනයේ දියුණුව වගේම තමන්ගේ ජීවිතයේ දියුණුවත් සලකන්න ඕන.  ඒ සඳහා පළමුවෙන්ම තමන්ට ලැබෙන මුදල කොයි විදියටද වියදම් කරන්නේ කියලා සැලසුමක් හදාගන්න ඕන. නැත්නම් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැහැ. අතෘප්තිමත් ජීවිතයක් ගත කරන්න හැමදාම සිදු වෙනවා.....” යැයිද දම්මික රණතුංග සභාපතිතුමා පැවසීය.

අද පැවැති උත්සවයේදී රන් තිළිණ හිමි කර ගත් සේවක සේවිකාවන්ගේ ගණන 114 කි. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් විශ්‍රාම ගන්නා සියලු සේවික සේවිකාවන්ට එම රන් තිළිණ පිරිනැමීම ආරම්භයේ සිටම සිදු කරයි.  සිය රැකියා ජීවිතයේදී වරාය අධිකාරියට කළ සේවාව ඇගයීම මෙම රන්තිළිණ පිරිනැමීමේ මූලික අරමුණ වේ. අද රන්තිළිණ හිමි කරගත් වරාය අධිකාරියේ සේවක සේවිකාවන්ට සුබ පැතූම් එක් කරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. ඉදිරි වසර කිහිපයේදී කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 20 අතරට ගෙන ඒමට අපේක්ෂා කරන බවද එතුමා කියා සිටියේය. ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් සැබෑ ලෙසම අගය කරන බවද සුබපැතුම් එක් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. රන්තිළිණ පිරිනැමිමේ උත්සවයට වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා, වරාය අධිකාරියේ තොරතුරු පද්ධති අධ්‍යක්ෂ ප්‍රසන්න ලොකුගේ, වරාය අධිකාරියේ ආරක්ෂක අධ්‍යක්ෂ මේජර් ජෙනරල් නිශ්ශංක විජේසිංහ, නියෝජ්‍ය ප්‍රධාන මානව සම්පත් කලමනකාරිණි එස්.එච්.පදිමිණි මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.