ලොව පැරණිතම රුවල් නෞකාව කොළඹ වරායට.

නෝර්වේ අධිරාජ්‍යයේ ඓතිහාසික උරුමයක් ලෙස සැලකෙන සෝලන්ඩ් (Sørlandet) රුවල් නෞකාව පසුගියදා කොළඹ වරායට සේන්දු විය. වසර දෙකක ලොව වටා සංචාරයේ එක් අවස්ථාවක් ලෙස මෙය කොළඹ වරායට සේන්දු වී තිබේ. ඒ A+ පුහුණු අධ්‍යාපනික ආයතනයේ උසස් අධ්‍යාපන සිසුන් 70 ක් ද සමඟිනි. නෞකාවේ මෙම සංචාරය සඳහා රටවල් 22 ක් සහ වරායන් 44 ක් ඇතුළත් වේ.

රුවල් 27 කින් යුක්ත මෙම සෝලන්ඩ් නෞකාව වසර 90 ක් වැනි කාලයක් මුහුදේ යාත්‍රා කර තිබේ. මෙය බොහෝවිට  ආධුනික නාවිකයින් සහ සිසුන් පුහුණු කරනු ලබන නෞකාවක් වශයෙන් යොදාගැනේ. දෙවැනි ලෝක යුද සමයේ දී සිරකරුවන් රඳවාතැබීම සඳහාද යොදාගෙන ඇති මෙම රුවල් නෞකාව Pearl of Norway යන අන්වර්ථනාමයෙන් හැඳින්වේ. දැනට ක්‍රියාත්මකව පවතින ලොව පැරණිතම රුවල් නෞකාව මෙයයි. නෝර්වේ රාජ්‍යයේ Kristiansand නම් වූ නගරයේ Hoivolds Mek නම් නැව් තටාකාංගණයයෙහි නිපදවූ මෙම නෞකාව සිය පළමු මංගල මුහුදු ගමන  සනිටුහන් කරමින් ඔස්ලෝ නගරය බලා පිටත්වූයේ 1927 වර්ෂයේදීය. උසින් වැඩිම ඓතිහාසික විටිනාකමකින් යුතු නෝර්වේ රාජ්‍යයේ නෞකා අතර මෙය පුමුඛස්ථානයේ පසුවන්නකි.

මේ වනවිට නෞකාවේ පුහුණුව ලබන නාවිකයින් අතර නෝර්වේ සහ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන සිසුන් ඇතුළත් වේ. ඔවුන් එහිදී පුහුණුවීම් වල නිරතවනු ඇත. රුවල් නෞකාවක සැබෑ අත්දැකීම ශ්‍රී ලංකාවේ නාවිකයින් වෙත ලබාදීමේ අරමුණින් හෙට දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනය මගින් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබේ. නෞකාව කොළඹ වරායේ සංචාරයෙන් අනතුරුව ඔක්තෝම්බර් 30 වැනි ඉරිදා දින මාලදිවයින බලා පිටත්වීමට නියමිතය.