MV. MEIN SCHIFF 3 අධි සුඛෝපභෝගී නොෟකාව කොළඹ වරායට පැමිණෙයි

MV. MEIN SCHIFF 3 (මෙයින් ෂිෆ් -3) අධි සුඛෝපභෝගී මගී නෞකාව 2018 නොවැම්බර් 26 වැනි දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු වි ය.   මගීන් 2,430ක් හා 995 ක කාර්ය මණ්ඩලයක් සමගින් කොළඹ වරාය වෙත සිදුකරන ලද ප්‍රථම ආගමනයයි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා හා නෞකාවේ කපිතාන් ඇල්වෙරෝපවුලෝස් ජෝර්ජ් (Alevropoulos George) යන මහත්වරුන් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු වි ය.

 නෞකාව ජර්මනියේ TUI Cruises නෞකා ජලායට අයත් වන මගී නෞකාවකි.  මෙම නෞකාවේ උපරිම දිග මීටර් 295ක් වන අතර, උපරිම පළල මීටර් 36කි.  කාමර 1250ක් සහිත නෞකාවේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1000කි.  රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 2,500කි.

පසුගිය මැයි මාසයේ දී යුරෝපයෙන් දියත් වූ නෞකාව යුරෝපයේ වරායයන් අතර සංචාරයකින් පසුව සුවස් ඇල පසුකරමින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත පැමිණි අතර, ඉන් පසුව දකුණු ආසියානු සංචාරය ආරම්භ කෙරිණි. ඉන්දියාවේ මුම්බායි වරායේ සිට කොළඹ වරායට පැමිණි නෞකාවේ එළැඹෙන ගමනාන්තය තායිලන්යේ පුකට් (Phuket)වරායයි.

සමරු ඵලක හුවමාරුවේ දී සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ප්‍රකාශ කළේ ‘අද වන විට කොළඹ වරාය කාර්ය බහුල වරායයක් වී ඇත් බවත්, මෙම වර්ෂයේ දී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වලට අනුව බහලු මෙහෙයුම් වලින් ලොව ඉහළ ම වර්ධන අනුපාතය අත්කරගත් වරාය කොළඹ වරාය බවයි.  එමෙන් ම එළැඹෙන කාල පරිච්ඡේදයේ දී මගී නෞකාවන් සඳහා වැඩි පහසුකම් සැලසීම වෙනුවෙන් නවීන අංගෝපාංගයන් සහිත මගී පර්යන්තයක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බව’ ද ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථා සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා යන මහත්වරුන් ද, නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන ෂිපින් ඒජන්සිස් (පුද්ගලික) සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ගිහාන් නානායක්කාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දක්‍ෂන් ජයසිංහ, මෙහෙයුම් විධායක නිරෝෂන් ඬේවිඞ්සන් යන මහත්වරුන් සහභාගි වි ය.