සෝලන්ඩ් රුවල් නෞකාවේ අසිරිය විඳගන්න ඇමති අර්ජුන එක්වෙයි.‍

ලෝකයේ දැනට මුහුදු සංචාරවල යෙදෙන පැරණිතම රුවල් නෞකාව වූ නෝර්වේ රාජ්‍යයට අයත් ඓතිහාසික සෝලන්ඩ් (Sørlandet) රුවල් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම දෙරට අතර මිත්‍රත්ත්වය තහවුරු කරන්නක් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට සේන්දු වූ එම නෞකාව පිළිගැනීමේ උත්සවයට සහභාගි වෙමිනි. කොළඹ වරායේ මගී පර්යන්තයෙහි පැවැති එම උත්සවයට ශ්‍රී ලංකාවේ නෝර්විජියානු තානාපති ටෝ බිජොන් ගෞතන් නේතන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. උත්සවයෙන් පසුව සෝලන්ඩ් රුවල් නෞකාවේ කපිතාන් ඔඩ් නොර්දාල් හැන්සෙන් (Odd Nordahl-Hansen) මහතා සමඟ සුහද පිළිසඳරක නිරත වූ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකටද එක් විය.

Pearl of Norway යන විරුදාවලිය ලැබූ සෝලන්ඩ් (Sørlandet) රුවල් නෞකාව නෝර්වේ අධිරාජ්‍යයේ ඓතිහාසික උරුමයකි. 1927 වර්ෂයේදී නෝර්වේ රාජ්‍යයේ Kristiansand නගරයේ Hoivolds Mek නම් නැව් තටාකාංගණයේදී එය නිෂ්පාදනය කෙරිණ. සිය මංගල මුහුදු ගමන ඇරඹූයේ නෝර්වේ අගනුවර වූ  ඔස්ලෝ නුවරිනි. එදා සිට වසර 90ක් අඛණ්ඩව මුහුදු සංචාරයේ යෙදුණු මේ රුවල් නෞකාව දෙවැනි ලෝක යුද සමයේ සිරකරුවන් රඳවාතැබීම සඳහා යොදා ගැනිණ. නෞකාවේ රුවල් ගණන 27 කි.

සෝලන්ඩ් (Sørlandet) රුවල් නෞකාව වත්මන් සංචාරයට රටවල් 22 ක වරායන් 44 ක් ඇතුළත් වේ. එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ. රුවල් නෞකාවක සැබෑ අත්දැකීම ශ්‍රී ලංකේය නාවිකයින්ට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනය විශේෂ වැඩසටහනක්ද ඊයේ පෙරවරුවේ සංවිධානය කර තිබිණ. සෝලන්ඩ් නෞකාව ලබන 30 වැනිදා ඉරිදා මාලදිවයින බලා පිටත්වේ.