වරාය බත් පත අලුත් වේ.

වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සිදු වූ සාකච්ඡාවකදී, එම නියෝජිතයින් වරාය සේවකයින් සඳහා ලබාදෙන ආහාර වේල් තුනෙහි ඇති අඩුපාඩු පෙන්වා දුන් අතර, අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වහා පියවර ගනිමින් ජුනි 01 වැනිදා සිට නිසි ප්‍ර‍මිතියකින් යුක්ත ආහාර ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලන අධිකාරියට උපදෙස් ලබාදුන්නේය.

ඉතිහාසයේ වරාය බත්පතට ඇති වටිනාකම හා එහි ජනප්‍රියත්වය පිළිබඳව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරමින් කියාසිටියේ වරාය සේවකයින්ගේ පෝෂණ මට්ටම මෙන්ම සේවක ඵලදායීතාව සඳහා ලබාදෙන ආහාර වල නිසි ප්‍ර‍මිතිය හා පෝෂ්‍ය දායකත්වය පිළිබඳව නිරන්තරව සොයා බලා කටයුතු කළ යුතු බවයි.

එසේම වරාය සේවකයින්ගේ ආහාර වේලෙහි ස්වභාවය(Menu) තීරණය කළ යුත්තේ අමාත්‍යංශය නොව වරාය සේවකයින් බව පැවසූ හෙතෙම ඒ සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අදහස් හා උපදෙස් ලබාගන්නා ලෙසත් ඔවුන් සමග නිරන්තර සම්බන්ධීකරණය සඳහා වරාය අධිකාරියේ නව උප සභාපතිවරයාට වගකීම් පැවරීමත් එහිදී සිදු කර තිබේ.

වරාය සේවකයින්ගේ බත්පතෙහි ප්‍ර‍මිතිය පරීක්ෂා කිරීම සඳහා ජුනි 01 වැනිදින , වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වරාය සේවක භෝජනාගාරයට පැමිණ දහවල් ආහාරය ලබාගැනීමද එහිදී සිදුවිය.