වරායේ සෑම සේවකයෙක්ම ක්‍රීඩකයෙක් කරමු - සෞඛ්‍ය වියදම අඩු කරන්න ක්‍රීඩාවත් ප්‍රචලිත කරමු - හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග.

“අපි දන්නවා අද මේ රටේ තියෙන රෝගී තත්ත්වයන්. එම රෝගවලට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ක්‍රීඩාවෙන් ඉවත් වීම. සමහරු පුංචි කාලෙදිම ඉවත් වෙනවා. සමහර අය වයසට යාමත් සමඟ ඉවත් වෙනවා. නමුත් ක්‍රීඩාවේ දිගටම යෙදුණොත් රෝග සඳහා වියදම් කරන මුදල් අපිට බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි රජයක් හැටියට සෞඛ්‍යට වියදම් කරන මුදල අඩුකළ හැකි ප්‍රධානම උපක්‍රමය වන්නේත් ක්‍රීඩාවයි.....” යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අන්තර් කොට්ඨාස ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සර සැමරුමට සමගාමීව මෙම ක්‍රීඩා උළෙල ගාලුමුවදොර පිටියේදී ඊයේ අවසන් විය. එහි සමාප්ති උළෙලට 96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ මුත්තයියා මුරලිදරන්, උපුල් චන්දන සහ චමින්ද වාස්ද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, උපසභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, කලමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර යන සම්භාවනීය අමුත්තන් රැසක්ද ඊට සහභාගි වූහ. සමාප්ති උළෙල ඇමතූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ වරායේ සෑම සේවකයෙක්ම ක්‍රීඩකයෙක් කිරීමේ ව්‍යාපෘතියක්ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

“සියලුම සේවකයින් ක්‍රීඩාවට යොමු කිරීමේ වැඩ පිළිවෙළක් අපි මේ වනවිට වරාය අධිකාරියේ ආරම්භ කර තිබෙනවා. මෙයින් බලාපොරොත්තු වන්නේ තාවකාලික දෙයක් නෙවෙයි. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් බොහෝවිට බර වැඩ කරන අපේ සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීම වැදගත්. ඒ සඳහා සකස් කළ මූලික ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස තමයි අපි මේ ක්‍රීඩා උත්සවය පැවැත්වූවේ....” යැයිද අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැමරුම් ක්‍රීඩා උළෙලට නෙට්බෝල්, වොලිබෝල්, ක්‍රිකට්, පාපැදි සහ මාර්ග ධාවන තරග ඇතුළත් විය. එහිදී ක්‍රිකට් ශුරතාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා කොට්ඨාසයත්, වොලිබෝල් පිරිමි ශූරතාව ලේකම් කාර්යාලයත්, නෙට්බෝල් ශූරතාව ක්‍රියාකරවන කොට්ඨාසයත් දිනා ගත්තේය.