ජාතියක දියුණුවේ රහස අපේකම රැක ගැනීමයි - ඇමති අර්ජුන පවසයි.

ඕනෑම ජාතියක දියුණුවේ රහස අපේකම රැක ගැනීම බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. ඒ සඳහා විදේශීය දේ දෑත් දිගු කර භාර ගැනීමේ යුගය අවසන් කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යතුමා පෙන්වා දෙයි.

“ක්‍රීඩකයෙක් හැටියට ක්‍රීඩා කරන කාලේ අනිත් රටවල් ක්‍රීඩා කරන විදිහ දිහා මම බැලුවේ නැහැ. ඒවායින් ඉගෙන ගත්තා.  නමුත් මම අපේ අනන්‍යතාවය නැති කරගත්තේ නැහැ. අපේ දක්ෂතාවය අපි දියුණු කළා මිසක් අපිට අවශ්‍ය වුණේ නැහැ එංගලන්තයේ ක්‍රීඩකයින් වගේ ක්‍රීඩා කරන්න. ඉන්දියාවේ ක්‍රීඩයින් වගේ ක්‍රීඩා කරන්න. අපිට අවශ්‍ය වුණේ ඔවුන්ගෙන් මොනවා හරි ඉගෙනගන්න. පුළුවන් දේ ඉගෙන ගෙන අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාවයත් සමඟ ඉදිරියට යන්න. එය තමයි අපේ ජයග්‍රණයේ රහස වුණේ. නමුත් පසුගිය කාලයේදී අපි ඒ ගැන සිතුවේ නැහැ. අපිට එතැනදී වැරදුණා. අපි බොහොම ආසයි පිටරට දේවල් දකින්න. අපිට හරි ආසයි පිට රටින් මොනවා හරි ගෙනාවොත් අත් දෙක දිග් කරලා බාරගන්න. නමුත් අපේ රටේ කෙනෙක් මොනවා හරි අලුත් දෙයක් කළොත් ඔහුට අපි සලකන්නේ නැහැ. අපිට අපේකම වැදගත් වෙලා නැහැ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්.....”යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අසංක සමිත් හෙට්ටිහේවාගේ හොඳම පොත් දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු ඇමතිනි සුනෙත්‍රා රණසිංහ සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවය ඊයේ (06) පැවැත්වුණේ දෙහිවල ඇස්. ඇස්. ද ජයසිංහ ශාලාවේදීයි. එහි ප්‍රධාන ආරධිත අමුත්තා වූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සභාව අමතමින් වැඩිදුරටත් පැවසුවේ තවමත් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම දැඩි ඛේදවාචකයක් වන බවයි.

“ඇතැම් විට අද ඉගෙන ගත්ත දරුවට සුදුසු රැකියා නැහැ. රැකියා තිබුණත් ඒ සඳහා සුදුසු දරුවෝ නැහැ. ඒකට මූලික හේතුව නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොතිබීම. අපි අපේ දරුවන්ට උගන්වන්න ඕන රටට ගැළපෙන දෙය.  අම්මා ඉන්නවාද, තාත්තා ඉන්නවද කියන එක අද ගොඩක් දරුවන්ට අමතක වෙලා. පාසල් යනකොට අම්මට තාත්තට වැදලා යන දරුවන් කීදෙනෙක් අද ඉන්නවද ? මගේ තාත්තා අද නැහැ නමුත් අදටත් පිටරට යනකොට මම මගේ අම්මට දණ ගහලා වැදලා යන්නේ. අපේ අම්මලා තාත්තලා අපිව හැදුවේ මේ රටේ සිංහල බෞද්ධයෝ හැටියට විතරක් නෙවෙයි, ශ්‍රී ලංකිකයන් ලෙස අපිව හැදුවේ. නමුත් අද පරම්පරාවෙන් මේ තත්ත්වය ගිලිහෙමින් යනවා....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.