වරායේ දියුණුවට ලලිත් ඇතුළත්මුදලි මහතා ඇති කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සැමදෙනාගේ යුතුකමක් - ඇමති අර්ජුන පවසයි.

වරාය අධිකාරියේ  දියුණුව සඳහා ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ඇති කළ ක්‍ර‍මවේදය ඉදිරියට ගෙනයෑම සෑම අයෙකුගේම යුතුකමක් වන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද(24) පෙරවරුවේ ලලිත් ඇතුළත්මුදලි ගුණානුස්මරණ උළෙලට එක්වෙමිනි. ප්‍ර‍ජාතන්ත්‍ර‍න්තවාදී එක්සත් ජාතික සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උළෙල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළුම් පරිපාලන ගොඩනැගිලි පරිශ්‍රයෙහිදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ පක්ෂ දේශපාලනයේ එල්බගෙන කටයුතු කරන වකවානුවක අවසන් මොහොත දක්වා ඇතුළත්මුදලි මැතිතුමා රට ගැන සිතා ක්‍රියාකළ ආකාරය සියලුදෙනාට පරමාදර්ශයක් වන බවයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා, කලමනාකරණ අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර‍ මහතා ඇතුළු වරාය අධිකාරියේ නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් එක්වූහ. ලලිත් ඇතුළත්මුදලි මැතිතුමාගේ  පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙම අවස්ථාවේදී සිදුකෙරිණි.

“ මහපොළ ශිෂ්‍යාධාර ක්‍ර‍මය ඇති කරමින් මුදල් නැති පවුල්වලින් එන උගත් දරුවන්ට ඉදිරියට යන්න අත්වැලක් දුන්නේ ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා. එතුමා මේ වරාය වෙනුවෙන් මොනවද කළේ කියලා ඔබතුමාලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා කරපු දේවල් සමහර වෙලාවට මට කරන්න බැරිවෙයි. නමුත් එතුමා මේ වරාය මේ තරම් දියුණුවට ගෙන ඒමට ගත් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන එක මගේ පමණක් නොව අපි සියලුදෙනාගේම වගකීමක්. තමුන්නාන්සේලා දන්නවා එතුමා මුහුණ නොදුන් ප්‍ර‍ශ්න ගණනාවකට අද අපිට මුහුණදෙන්න වෙලා තියෙනවා. අපි ජාතික ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යද්දී එක එක්කෙනාගේ විවිධ මත තියෙනවා. නමුත් ලාභ ලබන ආයතන කවදාවත් පෞද්ගලීකරණය කරන්න අවශ්‍ය නොවන බවයි ජනාධිපතිතුමාගේ මතය. ඒක තමයි මගේත් මතය. පාඩු ලබන ආයතන තියෙනවා නම් ආයෝජකයෙක් ගෙනල්ලා සංවර්ධනය කරලා ඉදිරිකාලයේදී ලාභ ලබන ගමන් නැවත වරක් අපිටම උරුම වෙනවා නම් එතන වරදක් නැහැ.

අද හම්බන්තොට වරාය පමණක් නොවේ නැගෙනහිර පර්යන්තයත් විශාල සාකච්ඡාවක් බවට පත්වෙනවා ඉදිරියේදී. මේවා ආරක්ෂා කරන එක ඇමතිවරයා විදයට මට තනියම කරන්න බැහැ. තමුන්නාන්සේලා ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඕන. මම සාමාන්‍යයෙන් පෞද්ගලීකරණයට විරුද්ධ කෙනෙක්. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය වසරේ වරාය අධිකාරිය විදියටත් වරාය අමාත්‍යාංශය යටතේ තියෙන අනිකුත් ආයතනත් විශාල වශයෙන් ලාභ ලබාගත්තා. සේවකයින්ගේ වැඩ ටික හරියට කරලා තියෙනවා. නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන් හරියට වැඩ ටික කරලා තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් මෙවැනි ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම අවශ්‍ය නැහැ කියන පදනම අරගෙන කැබිනට් මණ්ඩලයට යන්න. මේ රටේ ආණ්ඩුවට, රටට අයිති ආයතන පෞද්ගලික කරන්න වෙන්නේ සේවයින් නිසා. එය බේරගන්න පුළුවන් වෙන්නෙත් තමුන්නාන්සේලාටයි.

ලලිත් ඇතුළත් මුදලි ඇමතිතුමා අප අතහැර ගිහින් අවුරුදු 24 ක් වෙනවා. නමුත් අදත් එතුමා ගැන මේ වරායේ සාකච්ඡා කෙරෙනවා. ඉතිහාසය දන්න ගුණගරුක සියලුදෙනා අද එතුමාට ගරු කරනවා. එතුමාව මම දකින්නේ දේශපාලඥයෙක් විදියට නෙවෙයි. එතුමාට අපි ආදරය කරන්නේ දේශපාලඥයෙක් විදියට නෙවෙයි. එතුමා කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ කියලා, යූ එන් පී කාරයෙක් කියලා බලය අතට ගත් කෙනෙක් නෙවෙයි. මට මතකයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විදියට ඒ ඉන්න කාලෙත් එතුමාට තිබුණේ මේ රට ත්‍ර‍ස්තවාදීන්ගෙන් මුදවාගැනීමේ අරමුණ. ඒ නිසයි එතුමාට ජීවිතයත් පූජා කරන්න සිද්ධවුණේ. එවැනි නායකයින් ගෙන ගිය ක්‍රියාදාමය ඉදිරියට ගෙනයන්න අපට යුතුකමක් තියෙනවා.‍....” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.