සාමුද්‍රීය සංරක්ෂණයේ වැඩි වගකීම නාවික හා වෙළඳ ක්ෂේත්‍රයටයි....

සමුද්‍රීය සංරක්ෂණයේ වැඩි වගකීම නාවික හා වෙළඳ ක්ෂේත්‍රයට පැවරී ඇති බව ආචාර්ය මලික් ගුණසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පරිසර දූෂණයේ ප්‍රධාන ප්‍රභවය නාවික වෙළඳ ක්ෂේත්‍රය වීම ඊට මූලික හේතුව වන බවයි. ''සාමුද්‍රීය දූෂණය සහ ඒ හා බැඳුණු නීතිය'' යන මැයෙන් සාමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාමුද්‍රීය පරිසර දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ නීති රාමුවෙහි විශාල වෙනසක් පවතින බවයි.

ආචාර්ය මලික් ගුණසේකර මහතා සාගර සහ නාවික නීතිය පිළිබඳ විද්වතෙකු හා ජර්මානු  නාවික සබඳතා පිළිබඳ පර්යේෂණ ආයතනයෙහි සාමාජිකයෙක් වේ. ඔහු වර්තමානයේ ලංකා නාවික සමාගමෙහි විධායක අධ්‍යක්ෂවරයාද වෙයි. ඉහත රැස්වීම අමතමින් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ රටේ තිරසාර සාමුද්‍රීය සහ නාවික  සංවර්ධනය උදෙසා, නාවික හා වෙළඳ ක්ෂේත්‍රයෙහිත් සාමුද්‍රීය පරිසර සංරක්ෂණය අතරත් සංතුලන පණතක අවශ්‍යතාවයක් පවතින බවයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතියට අනුව ජාතික මට්ටමේ පාරිසරික ගැටලු විසඳීමේ ප්‍රධාන නියාමකයා වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි. සාමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාගර සහ මුහුදු පරිසර දූෂණයට එරෙහිව කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව අනාගතයේ ස්වයං ඛනිජ  සම්පත් මත රැඳීමට උත්සාහ කරන රටකි. එකී ඛනිජ තෙල් ගවේෂණය සුදුසු නෛතික රාමුවක කිරීම වඩාත් වැදගත් වේ.

සාමුද්‍රීය පරිසර දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ලංකා නීතියේ පැහැදිලිව දක්වා නැත.  මධ්‍යම පරිසර අධිකාරිය සාමුද්‍රීය දුෂණය පුළුල්ව විග්‍රහකර සිටියද එම අරමුණ ඉටුකරගැනීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අන්‍යොන්‍ය සහයෝගයද අවශ්‍යය. ආචාර්ය මලික් ගුණසේකර මහතා අවධාරණය කරන්නේ සාමුද්‍රීය පරිසරය පිළිබඳව පෞද්ගලික සහ රාජ්‍ය අංශයට අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම එකඟතාවලට එළැඹීමට සුදුසු පසුබිම ඉදිරියේදී සකස් කරනු ඇති බවයි.